පාපන්දු ක්‍රීඩාව ගැන දැනුවත් වෙමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

පාපන්දු ක්‍රීඩාව ගැන දැනුවත් වෙමු

පාපන්දු ක්‍රීඩාව ගැන දැනුවත් වෙමු

පාපන්දු ක්‍රීඩාව ලොව ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවකි. සෘජුකෝණාස්‍ර ක්‍රීඩාපිටියක් තුළ පිලකට ක්‍රීඩකයන් එකොළොස් දෙනා බැගින් මෙම තරඟයේ යෙදෙයි. විනාඩි 90 ක් තුල තම පිල රැස්කරගන්නා ගෝල් සංඛ්‍යාව අනුව තරගයේ ජය පරාජය තීරණය කරනු ලැබේ. පාපන්දු ක්‍රීඩාවේ දී පන්දුව තුළට විසි කිරීමක් යනු තරගයක් නැවත ආරම්භ කිරීමේ ක්‍රමයකි. පාපන්දු ක්‍රීඩාවේ නිරතවන අතර තුළට විසි කිරීමක් සිදුවන්නේ පිටියේ පැති රේඛාවෙන් පිටතට ගිය පන්දුව නැවත පිටිය වෙත ගෙන ඒමටයි. කෙසේ පිටතට ගිය පන්දුව අවසන්වරට ස්පර්ශ කළ ක්‍රීඩකයාගේ ප්‍රතිවාදීන්ට පැති රේඛාව පසු කළ ස්ථානයේ සිට තුළට විසි කිරීමක් සඳහා අවස්ථාව ලබා දෙයි. තුළට විසි කිරීමෙන් සෘජුවම ගෝල් ලකුණක් ලබා ගත නොහැකියි. සෑමවිටම ක්‍රීඩා පිටියෙන් පිටත සිට තුළට විසි කිරීම සිදු කරයි. ප්‍රතිවාදී ක්‍රීඩකයන් තුලට විසි කරන ස්ථානයේ සිට මීටර් දෙකක් ඈතින් සිටිය යුතුයි. පන්දුව වීසි කළ විට පසු වෙනත් ක්‍රීඩකයෙකු පන්දුව ස්පර්ශ කරන තෙක් විසි කරන්නාට පන්දුව ස්පර්ශ කළ නොහැකියි.

පාපන්දු ක්‍රීඩා දක්ෂතා අතරින් දැළ රැකීම වැදගත් දක්ෂතාවයක්. එයට හේතුව ජය පරාජය තීරණය වන්නේ ගෝල් ලකුණ මත වන බැවිනි. ප්‍රතිවාදී පිල වෙතින් ගෝලයකට එවනු ලබන පන්දුව දැල වෙත යොමු වීමට නොදී වැලැක්වීම දැල රැකීම ලෙස හඳුන්වයි. එමගින් ප්‍රතිවාදී පිළට ලැබෙන ලකුණු වළක්වාගත හැකියි. පන්දුව අතින් ඇල්ලීමේ වරප්‍රසාද ඇත්තේ දැල රකින කෙනාට පමණි. මෙහිදී දැල රකින්නා අනෙක් ක්‍රීඩකයන්ගෙන් වෙනස් වූ වර්ණයකින් සැරසී සිටිය යුතුයි. දැල වෙත පන්දුව ළඟාවීමේ විවිධ ආකාර අනුව දැල රැකීමද වෙනස් වෙයි. ඒ අනුව දැල වෙත එන පන්දුව විවිධාකාරයෙන් රැක ගැනීම සිදුකරනු ලබයි.

 

 

 


දැල රැකීමේ ශිල්පීය ක්‍රම කිහිපයක් පවතී. පාද උරහිස් ප්‍රමාණයට හෝ සුදුසු පරිදි ඈත් කර ශරීරයේ සමබරතාව රැකෙන පරිදි ගෝල් රේඛාව මත සිට ගැනීම, අත්ල ඉදිරියට යොමු වන සේ දෑත් වැලමිටෙන් නවා උරහිසට ඉහළින් සිරුර දෙපස තබා ගැනීම, පාද දනහිස් වලින් නමා සිරුර පහළට ගෙන එමින් කඳ මඳක් ඉදිරියට යොමු කිරීම, චලනය වීමට පහසු ලෙස පාද වල කොට්ටාවලින් සිටිය යුතු වීම යනාදිය එම ශිල්පීය ක්‍රම කිහිපයකි. පන්දුව එන ආකාරය අනුව දැළ රැකීමේ ආකාර වෙනස් වේ. බිම දිගේ ඉදිරියෙන් එන පන්දු රැකීම, බිම දිගේ පැත්තෙන් එන පන්දුව රැකීම, උදර හෝ පපුව මට්ටමෙන් එන පන්දු රැකීම, හිසට ඉහලින් එන පන්දුව රැකීම, දෑතට ගත නොහැකි නම් පන්දුව පැත්තෙන් පැන රැකීම සහ වෙනත් දිශාවකට පන්දුව යොමු කිරීම ආදිය එවැනි විවිධ ආකාර වෙයි.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් දැනුවත් වෙමින් පාපන්දු ක්‍රීඩාවේ නිරත වීම ඉතාමත් වැදගත්. එවිට ඔබටත් වඩාත් සාර්ථක ක්‍රීඩකයෙක් බවට පත්වීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

2033 Views

Comments

arrow-up