කිලිනොච්චියේදී අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට පොලීසියෙන් වෙඩි

කිලිනොච්චි, අරවියල්නගර් ප්‍රදේශයේදී සුරාබදු නිලධාරීන් රැගෙන, අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට පොලීසිය අද(14) උදෑසන 6.20ට පමණ වෙඩි තබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද පෙරවරුවේ ජීප් රථයකින් විශාල ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව ගිය බවයි.
එහිදී සැක සහිත ජිප් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සහ කිරීමේ දී ජිප් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.
එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් එම ජිප් රථයට වෙඩි තැබීමක් සිදු කර ඇති අතර වෙඩි තැබීමෙන් ජිප් රථයේ සිටි පුද්ගලයෙකුට වෙඩි වැදී සුළු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කෙරුණා.
එම ජීප් රථයේ ගමන් කර ඇත්තේ, කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් බවට අනාවරණය වී ඇති අතර තුවාල ලබා ඇත්තේ, සුරාබදු ඒකකයට තොරතුරු සපයන පුද්ගලයෙක්.
කිලිනොච්චිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
755 Views
Comments