නිදහස් පක්ෂයේ අවසන් තීන්දුව 05 වෙනිදාට කල් යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් තීන්දුව ගැනීම ලබන සෙනසුරාදාට කල් දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (30) රාත‍්‍රියේදී තීරණය කර තිබෙනවා.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ රාත‍්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගැනුණා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දෙන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ලබන 05 වැනිදා රාත‍්‍රී 7.00 ට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දීමේ ගැටළුවක් නොමැති නමුත් පොහොට්ටුව ලකුණෙන් තරඟ කරන්නේ නම් සහය දීම ගැටළුවක් බව මධ්‍යම කාරක සභිකයින් වැඩි දෙනෙකු ප‍්‍රකාශ කර තිබෙනවා.
මධ්‍යම කාරක සභා රැස්වීම පැය 3 1/2 ක පමණ කාලයක් පැවැත්වුණා.
මේ අතර පොදුජන පෙරමුණ සමඟ එක්වන්නේ නම් අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පතක්ද පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. එම කෙටුම්පත හෙට දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත යැවීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.
654 Views
Comments