මිනිස් සිරුරට නැතුවම බැරි යකඩ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

මිනිස් සිරුරට නැතුවම බැරි යකඩ

මිනිස් සිරුරට නැතුවම බැරි යකඩ

කැල්සියම් සහ පොස්පරස් මෙන් නොව යකඩ අප හට අවශ්‍ය වන්නේ අංශු මාත්‍ර වශයෙනි. එහෙත් ශරීරයේ සෞඛ්‍ය රැකගැනීම සඳහා එය ඉතාමත් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය ගැටලු අතර යකඩ ඌනතාවය ප්‍රමුඛස්ථානයක් ගන්නා බව ඔබ දන්නවාද. රුධිරයේ රතු රුධිරාණු වලට වර්ණය ලබා දෙන හිමෝග්ග්ලොබින් තුළ යක අඩංගුය. පෙනහළු මගින් අවශෝෂණය කරනු ලබන ඔක්සිජන් වායුව සිරුර පුරා ගෙන යන්නේ හිමොග්ලොබින් මගිනි. සෛල තුළදී ඔක්සිජන් සමග ග්ලූකෝස් දැවීමේදී පිටවන කාබන්ඩයොක්සයිඩ් නැවත හිමොග්ලොබින් මගින් එකතු කරගෙන පෙනහලු දක්වා ප්‍රවාහනය කරයි. එබැවින් රතු රුධිරාණු නිපදවීමේදී යකඩ අත්‍යවශ්‍ය වේ. රතු රුධිරාණුවක ජීවිත කාලය දින 120ක් පමණ වේ. දින එකසිය විස්ස අවසානයේ දී රතු රුධිරාණුව මිය ගිය විට එහි ඇති යකඩ වෙනත් රුධිරාණුවක හිමොග්ලොබින් තැනීම සඳහා යොදා ගනු ලබයි. එබැවින් යකඩ අංශු ශරීරය තුළම ප්‍රතිචක්‍රීකරණය වීමේ ක්‍රියාවලියකට ලක් වේ. එහෙත් ශරීරයෙන් රුධිරය පිටවන අවස්ථාවන්හිදී යකඩ සිරුරෙන් ඉවත් වේ.

යකඩ අපගේ සිරුරට ලැබෙන්නේ ඛනිජ ලවණ යක් ලෙසයි. ශාක වලින් ලැබෙන යකඩ හීම් නොවන යකඩ අයන ලෙසත් සත්ත්ව ආහාරවලින් ලැබෙන යකඩ රුධිරයේ අඩංගු වන හීම් ලෙසත් හඳුන්වයි. මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණ නම් හීම් ලෙස ලබාගන්නා යකඩ අප ශරීරයට ඉතාමත් ලේසියෙන් අවශෝෂණය වන බවයි. පීකුදු, රතු මස්, රතු මාළු, කරවල, උම්බලකඩ සහ බිත්තර කහ මදයේ මෙම ගණයට අයත් යකඩ බහුලව දක්නට ලැබේ. ඒවා ආහාරයට ගත්විට රක්තහීනතාව හෙවත් පාණ්ඩුව ඇති නොවේ. මෙහිදී මතක තබා ගත යුතු තවත් කරුණක් තිබේ. එනම් කිරි වල යකඩ අඩංගු වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බවයි. එබැවින් එළකිරි බීම යකඩ ඌනතාවය සඳහා පිළියමක් නොවේ. එහෙත් සමහර කිරි පිටි වර්ග වලට යකඩ එකතු කර තිබෙන්නේ ඒ අඩුපාඩුව මගහැර ගැනීම සඳහාය. යකඩ අඩංගු ශාක ආහාර අතර බෝංචි, උඳු, කඩල, මුං, දුඹුරු සීනි, ගොටුකොළ, මුකුණුවැන්න, මිංචි මුල් තැනට වැටෙන ආහාරයි. නිවිතිවල යකඩ අඩංගු වන්නේ ඊට අඩුවෙනි. නිවිති වල මෙන් හත් ගුණයක් යකඩ ගොටුකොළවල අඩංගුයි.

 

 

 


එළවළු පලා සහ පලතුරු මඟින් ලැබෙන යකඩ විවිධ හේතූන් නිසා අවශෝෂණය අඩු හෝ වැඩි කරයි. උදාහරණයක් ලෙස ගොටුකොළ සලාදයට හොඳින් දෙහි එක් කිරීමෙන් යකඩ අවශෝෂණය වැඩි කළ හැකියි. තේ වල ඇති ටැනින් සහ ඔක්සලේට් යකඩ අවශෝෂණය අඩු කරයි. ආහාර ගත් විගස තේ පානය කිරීම අහිතකර යැයි කියන්නේ එබැවිනි. කෙඳි අධික ධාන්‍ය වර්ග මගින්ද යකඩ අවශෝෂණය අඩු කරයි. මේ අනුව බලන කල එළවළු පමණක් ආහාරයට ගන්නා අය රක්තහීනතාවයට මුහුණ පෑමේ අවදානමක් පවතී. මෙම අඩුපාඩුව මගහරවා ගැනීම සඳහා ආහාර නිෂ්පාදන ආයතන මගින් තවත් උපක්‍රමයක් අනුගමනය කරනු ලැබේ. එනම් තිරිඟු පිටි සහ වෙනත් ධාන්‍ය පිටි වලට යකඩ ලවන එකතු කිරීමයි. යකඩ ඌනතාවයෙන් පෙළෙන්නන් රුධිරය පරීක්ෂා කිරීම මඟින් හඳුනාගත හැකියි. ඔවුන්ගේ රතුරුධිරාණු කුඩා මෙන්ම ලා පැහැයෙන් යුක්තයි. ඇඟිලිවල නියපොතු හැන්දක් සේ ඇතුලට නැමී යයි. දිවෙහි රළු ස්වභාවය නැති වී සිනිඳු වෙයි. ඇසිපිය සහ අත්ල සුදුමැලි වීම, ඇඟ පිපිහළු වීම, ඇඟපත සහ කකුල් ඉදිමීම සහ ඈලි මෑලි දුබල ගතිය රක්තහීනතාවයේ ලක්ෂණ ලෙසට හඳුනා ගත හැකියි. අධික යකඩ ඌනතාවයෙන් පෙළෙන අයට ලබා දිය හැකි ඉක්මන්ම විසඳුම නම් යකඩ පෙති හෝ සිරප් වර්ග ලබා දීමයි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

2893 Views

Comments

arrow-up