වැඩිසෙනේ දබරෙටයි

දරුවන්ගේ ජිවිතය වෙනුවෙන් කැපවෙන දෙමව්පියන් දරුවන් ගැන ඇති වැඩි ආදරය නිසාම ගැටළු ඇති කර ගන්නවා. මේ ඒ පිළිබඳ සටහනක්.
බොහෝ දරුවන් කුඩා වයසේදීම විවිධ ඉලක්ක ඇති කර ගන්නවා. නමුත් දෙමව්පියන්ට ඒවා පෙනෙන්නේ දරුවාට නොගැලපෙන ඉලක්ක ලෙසයි. ඉතින් දෙමව්පියන් වහා මැදිහත් වී දරුවන්ගේ ඉලක්ක වෙනස් කර ගැනීමට දරුවාව පොළඹවනවා. විශේෂයෙන්ම දෙමව්පියන් විසින් තමාට ඉටු කර ගැනීමට බැරි වූ ඉලක්ක දරුවා ඉටු කර ගත යුතු ඉලක්ක බවට පත් කරවනවා. ක්‍රමයෙන් දරුවන්ට දරුවාගේ ඉලක්ක අමතක වෙනවා. කෙසේ වෙතත් අකමැත්තෙන් දෙමව්පියන්ගේ ඉලක්ක ඉටු කිරීමට උත්සාහ කරන දරුවන්ගේ අපේක්ෂාවන් ඉටු නොවීමේ අවදානමකුත් පවතින බව ඔබ දන්නවාද?
නවතම සොයා ගැනීම් වලට අනුව දරුවෙකුගේ මානසික වර්ධනයට අත්‍යවශ්‍යම සාධකයක් තමයි දෙමාපියන්ගේ ආදරය. තම දරුවාව යහපත් ලෙස ඇති දැඩි කිරීමට දෙමව්පියන් තුල ඇති ආදරය විශ්මිත ලෙස යොදා ගත හැකියි. නමුත් ඇතැම් මව්පියන් සිතන්නේ තම සිතේ දරුවන්ට ඇති ආදරය සඟවා ගත යුතු බවත් එය පෙන්වීමෙන් දරුවා අයහපත් දරුවෙකු වන බවත්ය. කෙසේ වෙතත් මේ සිතුවිල්ල දරුවාට දැඩි ලෙස යහපත්ව බලපානවා. දරුවාගේ මානසික වර්ධනය අඩාල වන අතර පිටස්තර පුද්ගලයන් තුලින් ආදරය සෙවීමට යාම නිසා දරුවා අනතුරක වැටීමේ අවදානමකුත් පවතිනවා.
දරුවා දක්ෂ සහ කැමති විෂය ක්ෂේත්‍රයට දෙමව්පියන් අකමැති වීමත් තවත් ගැටළුවක්. දරුවා කැමති විෂයයන් වෙනුවට දෙමව්පියන් කැමති විෂයයන් තෝරා ගැනීමට බල කිරීමෙන් ඇති වන්නේ ගැටළුවක්. දෙමව්පියන්ගේ අපේක්ෂාවන් සහ දරුවන්ගේ අපේක්ෂාවන් සමාන නොවීම නිසා නිරන්තරයෙන් ගැටුම් ඇති වෙනවා. දරුවා තවත් එක් ස්වාධින පුද්ගලයෙක් බව පිළිගන්නට දෙමව්පියන් මැලි වන තාක් මේ ගැටුම පවතිනවා. එමෙන්ම දරුවා කැමැත්තෙන් හදාරන විෂයන් සඵල වීමට වැඩි ඉඩක් පවතින පවතින අතර අකමැත්තෙන් හදාරන විෂයන් අසාර්ථක වීමට වැඩි ඉඩක් පවතිනවා.
තමන්ගේ දරුවා අදක්ෂ යැයි සිතන මව්පියන් අප අතරේ ඕනෑ තරම් ඉන්නවා. විභාග ලකුණු වලින් දරුවාගේ දක්ෂතාවය මනිනවා මිස දරුවා තුල සැඟවී ඇති දක්ෂතා තේරුම් ගෙන ඒවා ඔප් නංවන්නට ක්‍රියා කරන්නේ නැහැ. සෑම දරුවෙක් තුලම විවිධ වූ දක්ෂතා පවතින බව වටහා නොගැනීම නිසා දෙමව්පියනුත් දරුවනුත් පීඩාවට පත් වෙනවා. ඒ වගේම තමයි ලකුණු 99ක් ගත්තත් ඒ ගැන සතුට පළ නොකර අහිමි වූ ලකුණ ගැන දුක් වන්නටත් මේ දෙමව්පියෝ පෙළඹෙනවා. ඉන් ලැබුණු ලකුණු ගැන සතුටු වන්නට සහ සැනසෙන්නට දරුවාට තිබුණු අවස්ථාවත් අහිමි වී යනවා.
ඉතින් ඔබත් ඔබේ දරුවන්ට ඇති ආදරය නිසාම ඇතිවන මේ වගේ ගැටලු දෙස අවබෝධයෙන් බලන්න උත්සාහ කරන්න.
by Dilki Shamani
Photo Source: Internet
663 Views
Comments