ඔබේ දරුවාටත් කෙටි කෑම ලබාදෙන්නේ බලාගෙනයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
23

ඔබේ දරුවාටත් කෙටි කෑම ලබාදෙන්නේ බලාගෙනයි

ඔබේ දරුවාටත් කෙටි කෑම ලබාදෙන්නේ බලාගෙනයි

වර්තමානයෙහි බොහෝමයක් මව්වරුන් තමාගේ කාර්යබහුල ජීවිත රටාවත් සමගම දරුවන්ට පාසල් ගෙනයාමට හෝ අමතර පන්ති සඳහා ගෙනයාමට නිවසේදී ආහාර පිළියෙල කර දීමේ අවම ප්‍රවණතාවක් දක්නට ලැබේ. මව්වරුන්ගේ පහසුව උදෙසා වෙළඳපළෙන් මිලදී ගන්නා කෙටි ආහාරයක් දරුවාට ලබාදීමට ඔවුන් කටයුතු කරයි. ඔබ පහසුවට සිදුකරන මෙම ක්‍රියාවෙන් ඔබගේ දරුවාට අත්වන ඉරණම පිළිබඳව ඔබ මොහොතකටවත් සිතුවාද.

 

වෙලාවට අවදි වීමට නොහැකි වූ විට, පෙර දිනයේ කාර්යාල වැඩකටයුතු අද දිනයේ වේලාසනින් ආවරණය කිරීමට සිදුවූවිට, අසනීප තත්ත්වයකින් පෙළෙන විට ආහාර පිසීම පසෙක තබා ඒ වෙනුවට විකල්ප භාවිතා කිරීම අලූත් දෙයක් නොවේ. බොහෝ විට මෙම විකල්ප බැඳී පවතින්නේ කෙටි ආහාර සහ කලින් පිසින ලද ආහාර සමඟයි. පෙරපාසල් වියේ පසුවන දරුවන් එම වියේදී කෙටි ආහාර සහ කලින් පිසින ලද ආහාර වලට හුරු කරවීමෙන් තරුණ හා වැඩිහිටි වන විට ඔවුන් අධික තරබාරු ස්වභාවයට පත් වීමේ බරපතළ අවදානමක් පවතින බව වෛද්‍යවරුන් විසින් සනාථ කොට තිබේ. පමණට වඩා තරබාරු වීම නැතහොත් අධික ස්ථුලතාවය, ශරීර ස්වරූපය මත පමණක් නොව ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය තත්ත්වයට බලපාන කාරණයක් බව ඔබ දැනගත යුතුයි. පර්යේෂණවලින් සොයාගෙන තිබෙන ආකාරයට පමණට වඩා තරබාරු වීම දියවැඩියාව වැනි රෝග වැළඳීමට සහ අක්මාව වැනි අවයව දුර්වලවීමට අත වන්නක් වන අතරම විශාදය වැනි මානසික රෝගී තත්ත්වයන් ඇති කිරීමටද සමත් වී ඇත. දරුවන්ගේ උදෑසන ආහාරවේලට කෙටි ආහාර වැඩි වශයෙන් එකතු වීම තුළින් දරුවන්ගේ බර කාලයත් සමඟ ක්‍රමිකව වැඩෙයි.

 

 

 

 

මව්වරුන්ගේ කාර්යබහුලත්වය නිසාම දරුවන්ට කෙටි ආහාර සපයන ප්‍රසිද්ධ අවන්හල්වලින් ආහාර මිලට ගෙන දීමට පුරුදුව සිටින අතර එවන් අවන්හල් ජාල කිහිපයක්ම මෙරට ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබේ. මිල අඩුවීමක්, නොවිඳි රසයත් නිසා අප රට බොහෝ දෙනෙක් දැනටමත් මෙම අවන්හල් වල යාවජීව සාමාජිකයන් බවට පත්ව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අපගේ අනාගත පරම්පරාව පිළිබඳ සිතා එවැනි පුරුදු සීමා කරගත යුතු බව මව්වරුන් වශයෙන් ඔබ සිහියේ තබා ගත යුතුයි. ඇතැම් විට මෙම බොහොමයක් කෙටි කෑම කිහිප වරක් ආහාර පිළියෙල කර ඇති තෙල් වර්ගවලින් පිළියෙල කර ගැනීමත් නිසා එවැනි ආහාර ශරීරයට ඉතාමත් අහිතකරයි. මෙවැනි ආහාරපාන දරුවන්ට ලබාදීම තුළින් සිදුවන්නේ ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබේ දරුවා රෝගියෙක් බවට පත්කිරීමට ඔබ දායක වීමකි. කෙතරම් කාර්යබහුල වුවද ඔබගේ දරුවා වෙනුවෙන් නිවසේ දී පිළියෙල කරන ලද ආහාර වේලක් පාසලට ගෙන යාමට, උපකාරක පන්තියට ගෙන යාමට ලබාදීමට හැකියාවක් පවතිනවා නම් වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඔබේ දරුවාටත් ලැබෙනු ඇත. මෙවැනි ආහාර වේල් මඟින් ඔබගේ දරුවන් අසනීප වුවහොත් එම අසනීප සඳහා මෙන්ම වෛද්‍යවරුන් සඳහා ද ඔබට ඔබ මහන්සියෙන් උපයන මුදල් සහ අනිකුත් සම්පත් නිකරුනේ වැය කිරීමට සිදුවේ. හැකි පමණ කෙටි කෑම වර්ග වලින් බැහැර වීමට කටයුතු කරන්න. වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත නිවසේදීම පිළියෙල කරන ලද ආහාර දරුවන්ට ලබා දීමට කටයුතු කරන්න. එවිට ඔබටත් නිරෝගී දරුවන් සමග සතුටින් ජීවත්වීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

541 Views

Comments

arrow-up