නිදන කාමරයේ ගෙබිමට වඩාත් සුදුසු වන්නේ මොනවාද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

නිදන කාමරයේ ගෙබිමට වඩාත් සුදුසු වන්නේ මොනවාද?

නිදන කාමරයේ ගෙබිමට වඩාත් සුදුසු වන්නේ මොනවාද?

නිදන කාමරයක ගෙබිම ගැන කතා කිරීමේදී වර්තමානයේ බොහෝ දුරට දක්නට ලැබෙන්නේ ලී වලින් කළ ගෙබිමක්. වටිනා පෙනුමක් ලබා ගැනීමටත් තම වත් පොහොසත්කම් දැක්වීමටත් වැඩි දෙනෙක් ගෙබිමට ලී භාවිතා කරන අතර ඊට අමතරව කාපට් වැනි දෑ භාවිතා කරනවා. ලී භාවිතය තරමක් මිල අධික වුවත් එය කාමරයට මනා පෙනුමක් ගෙන දෙන අතර ලී භාණ්ඩ වල වර්ණයටද මැනවින් ගැලපෙනවා. නමුත් ගෙබිමට ලී භාවිතා කළ විට එම කාමරයට ප්ලාස්ටික් යකඩ වැනි වෙනත් අමුද්‍රව්‍ය යන්ගෙන් තනනු ලැබූ ගෘහභාණ්ඩ කිසිවිටෙකත් ගැලපෙන්නෙ නැහැ. මෙම ලී ගෙබිම නිතර පිරිසිදු කිරීම කළ යුතු අතර විසබීජ නාශක දියර යෙදූ ජලය පොඟවා ගත් රෙදි කැබැල්ලකින් පිස දැමීම හොඳටම ප්‍රමාණවත් වෙනවා. නිතර තෙත් වන ගෙබිමකට ලී නොගැළපෙනවා සේම ලී ගෙබිම ජලයට නිරාවරණය වීමත් එහි කල් පැවැත්ම අඩු කරනවා.
 


ලී වලට අමතරව වැඩි දෙනෙක් තම නිදන කාමරයේ ගෙබිම සඳහා තෝරාගනු ලබන්නේ ටයිල්. ග්‍රැනයිට් පිඟන් ගඩොල් මාබල් ආදි විවිධ ටයිල් වර්ග අද වෙළඳපලේ දක්නට ලැබෙන අතර ප්‍රමිතියෙන් යුත් උසස් වර්ගයක් තෝරා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔපදැමූ ටයිල් නිදන කාමරයට එතරම් යෝග්‍ය නොවන්නේ එහි ලිස්සා යන ප්‍රමාණය වැඩි නිසයි. එමෙන්ම සීරීම් වලට වැඩි වශයෙන් ලක්වෙනවා. ඒ නිසා ඔප නොදැමූ ලිස්සන සුළු නොවන සරල මෝස්තර සහිත ටයිල් වර්ගයක් නිදන කාමරයට තෝරා ගැනීමට වගබලා ගත යුතු වෙනවා.

ඊට අමතරව වර්තමානයේ බොහෝ දෙනා ගෙබිම කාපට් වලින් ආවරණය කරනු දක්නට ලැබෙනවා. වටිනා පෙනුමක් මිල අධික බවත් හැරුණු විට කාපට් යොදා ගැනීමේ තවත් අපහසුතාවක් වන්නේ නිතර පිරිසිදු කිරීමට අවශ්‍ය වීමයි. විශේෂයෙන්ම වැකුම් ක්ලීනර් ආධාරයෙන් දිනපතා මෙය පිරිසිදු කළ යුතු අතර අවම වශයෙන් දිනකට දෙවරක්වත් පිරිසිදු කිරීම අවශ්‍ය වෙනවා. එලෙස නිතර පිරිසිදු කිරීමට අපහසුනම් කාපට් යෙදීම ලෙඩ රෝග රැසකට අත වනන කාරණයක් වෙනවා.

ඒ වගේම සාමාන්‍ය නිදන කාමරයකට යාබදව නානකාමරයක් තැනීමේදී නිදන කාමරයේ ගෙබිම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද නාන කාමරයක ගෙබිම කාමරයේ ගෙබිමට වඩා පහත් විය යුතුයි. එසේ නැත්නම් නාන රෙදි සෝදන ජලය කාමරය ඇතුළට ගලා ඒමට ඉඩ තියෙනවා. ඒ වගේ වගේම කාමරයේ බිමට වඩා උසින් නානකාමරයේ බිම සකස් කරනවා නම් දොර අසලින් තරමක් උස්ව සිටින සේ සකස් කළ යුතු වෙනවා. එසේ නොවුණහොත් නානකාමරයේ ජලය පාවිච්චි කරන සෑම අවස්ථාවකම කාමරයටත් ජලය ඒම වළක්වා ගැනීමට නොහැකි වෙනවා.

මේ කරුණු පිළිබඳව දැනුවත් වී ඔබත් ඔබේ නිදන කාමරය සැලසුම් කර ගන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

966 Views

Comments

arrow-up