දික්කසාද නඩු පැවරීම

අඹුසැමි යුවළක් දික්කසාද නඩු පැවරීමේ දී බලපාන නීතිය පිළිබඳ සටහනක් මෙහි දැක්වෙනවා. සිවිල් නඩු විධිවිධාන සංග්‍රහයට අනුව දික්කසාද නඩු පැමිණිලිකරුගේ පදිංචියට අදාළ ප්‍රාදේශීය අධිකරණය බලය ඇති දිසා අධිකරණයේ පැවරිය හැකි. කෙසේ නමුත් සිවිල් නඩු විධිවිධාන සංග්‍රහයේ 9 වන වගන්තියට අනුව යම් සිවිල් නඩුවක් විත්තිකරුගේ පදිංචිය, ගිවිසුමක් නම් ගිවිසුමක් එය ඇති කරගත් ස්ථානය, නඩු නිමිත්ත පැනනැගී ඇති ස්ථානය යන ඒවායින් එකකට අදාල ප්‍රාදේශීය අධිකරණ බලය ඇති දිසා අධිකරණයේ පැවරීමට හැකියාව ලැබෙනවා.
සාමාන්‍ය විවාහ ආඥා පනතේ වගන්ති ප්‍රකාරව විවාහයෙන් පසු සිදු කළ අනාචාරය ඔප්පු කිරීමෙන් දික්කසාදය ලබාගත හැකි වෙනවා. එලෙසම ද්වේශසහගත ලෙස හැර යෑමේදී හා විවාහ වන විට පැවති සුවකළ නොහැකි බෙලහීනතාව නිසා දික්කසාද නඩු පැවරිය හැකි වෙනවා.
මෙහිදී ද්වේශසහගත ලෙස හැර දැමීම ලෙස දක්වන්නේ අසාධාරණ හා අවසාන ලෙස විවාහක පාර්ශවකරු හැර යාමක්. එහිදී අදාළ හැර යාමේ ඉහත කරුණු දෙකම අඩංගු බව දික්කසාද ඉල්ලා සිටින පාර්ශවකරු විසින් ඔප්පු කළ යුතු වෙනවා. ද්වේශසහගත ලෙස හැර යෑමක් ඔප්පු වීමට නම් විවාහය අවසන් වීමේ චේතනාවෙන් හැර ගිය බවට සාක්ෂි මගින් ඔප්පු කළ යුතු වෙනවා.
බෙලහීනතාවය යන්නෙන් අදහස් කරන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සංවාසයේ යෙදීමට ඇති නොහැකියාවයි. ඒ අනුව බොහෝ අවස්ථාවන් වලදී වෛද්‍යවරුන්ගේ සාක්ෂි මත මෙවැනි කරුණු ඔප්පු කිරීම සිදු කරනවා. පිළිගත හැකි වෛද්‍ය සාක්ෂි නොමැති විට විවාහවී වසර තුනක් එක දිගට බෙලහීනතාවයෙන් පෙලුනේ යන සාක්ෂි මත ඔප්පු කිරීම ප්‍රමාණවත් බව රෝම ලන්දේසි නීතිය අනුව පිළිගනු ලබනවා.
දික්කසාද නඩුවක විත්තිකාර පාර්ශවය විසින් තම උත්තරය ඉදිරිපත් කරන විට පැමිණිල්ල ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටීමට හෝ පැමිණිල්ලේ නඩුව නිෂ්ප්‍රභ කර තම වාසියට දික්කසාදය ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැකියි. අධිකරණය විසින් වලංගු විවාහයක් සිදුවන බව හා විවාහ වරදක් වූ බව ඔප්පු කිරීමේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වුවහොත් දික්කසාද ආඥාවක් නිකුත් කරනු ලබනවා .මෙලෙස නිකුත් කරන්නේ නයිසයි ආඥාවක්. නයිසයි ආඥාව කියන්නේ විරුද්ධව ප්‍රමාණවත් කරුණු නොදැක්වූවොත් නිශ්චිත කාලයකට පසු නියත කළ හැකි තාවකාලික ආඥාවක්. එම නයිසයි ආඥාව නියත කළ යුත්තේ නිකුත් කර අවම වශයෙන් මාස තුනකට පසුවයි. නයිසයි ආඥාව නියත කිරීම පාර්ශවයන්ගේ ඉල්ලීම මත මිස අධිකරණය මෙහෙයවීමෙන් කළ යුත්තක් නොවන බව තීරණය වී තියෙනවා.
එදිනෙදා සමාජයේ සිදුවෙන සිදුවීම් කෙරෙහි බලපාන නීතිමය පසුබිම පිලිබඳ දැනුවත්භාවය නිතරම ලබාගන්න.
by Dilki Shamani
Photo Source: Internet
2488 Views
Comments