ඔබත් සතුටින් වැඩ කරන ගෘහණියක් ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
01

ඔබත් සතුටින් වැඩ කරන ගෘහණියක් ද

ඔබත් සතුටින් වැඩ කරන ගෘහණියක් ද

ඔබ ගෘහනියක් වශයෙන් බොහෝම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නියක් වන්නට පුළුවනි. දරුවන්ගේ වැඩ, සැමියාගේ වැඩ, ගෙදර දොර වැඩ, මවුපියන්ගෙ වැඩ සහ අනෙකුත් බාහිර වැඩකටයුතු නිසාවෙන් ඔබ දැඩි පීඩාවකින් දවස ගෙවන්නියක් වන්නටද පුළුවනි. එසේ පීඩනයකින් තොරව සතුටින් නිවසේ වැඩ ටික කරගන්න හැකියාවක් ලැබේනම් ගෘහනියකට එය කෙතරම් අපූරු ආශ්වාදයක් ද. අපි අද ඒ ගැන කතා කරමු.


ඇත්තෙන්ම නිවසක පදනම ගෘහණියයි. නිවසේ සියලුම සාමාජිකයන් එකට බැඳ තබන අදෘශ්‍යමාන හස්තයද වන්නේ එම නිවසේ ගෘහණිය, බිරිඳ නැතහොත් මවයි. කාන්තාවන් යුවතියක් වශයෙන් දෙමාපියන් ළඟ හැදෙන වැඩෙන කාලයට වඩා විවාහයෙන් අනතුරුව ගතකරන ජීවිතය ඉතාමත් වෙනස්. විවාහක කාන්තාවක් සමනළියක් ලෙස සැහැල්ලුවෙන් පියාඹන අයෙකු නම් නොවේ. වගකීම් සහ යුතුකම් වලින් ඇගේ ජීවිතය පිරී පවතී. විවාහයෙන් පසුව ගොඩනැගෙන්නෙ ජීවිතය තවත් අය වෙනුවෙන් කැපකිරීමට එළඹෙන කාලයයි. ඔබ සැම විටම සිතිය යුත්තේ එම ජීවිතය ඔබට කරදරයක් ලෙස නොව ආශිර්වාදයක් ලෙසටයි. එවිට ඔබට ඔබගේ දෛනික වැඩ කටයුතු සතුටින් කරගැනීමට හැකියාවක් ලැබේවි. ඔබ ගෘහනියක් වශයෙන් හැමදාම දකින්නේ ජීවිතයේ දුක්බර පැතිකඩ පමණක් නම් එයින් බැහැර වන්නට ඔබට හැකියාවක් තිබෙන බව ඔබ නොදන්නවා විය හැකියි. ඇතැම් අවස්ථාවන්වලදී ඔබ ජීවිතය දුකක් යැයි සිතමින් කරන වැඩකටයුතුවලින් කිසියම් හෝ ආශ්වාදයක් ලබන්නටද හැකියාවක් තිබේ. සැමවිටම ඔබේ වැඩ ඔබගේ සැමියා සමග බෙදා හදාගන්න. එවිට ඔහු සමඟ කාලය ගත කරන්නට ද ඔබට අවස්ථාවක් ලැබෙනු ඇත. ඇතැම් ගෘහණියන් තමාගේ සැමියා මුළුතැන්ගෙට පැමිණෙනවාටවත් කැමති නැති අවස්ථාවන් බොහෝ විට දක්නට ලැබේ. ඔවුන් සිතන්නේ තමාගේ සැමියා පැමිණ තමාගේ වැඩ දෙගුණ කරන බවයි. නමුත් එය එසේ නොවේ. එවැනි අවස්ථාවන් ඔබ දෙදෙනා අතර පවතින දුරස් බව දුරුකර ගැනීමටත් ආදරය වැඩි කර ගැනීමටත් ලැබෙන දුර්ලභ අවස්ථාවන් බව මතකයේ තබා ගන්න. තවද මුළුතැන්ගෙයි උයන පිහන වැඩ කටයුතු ඔබට කරදරයක් යැයි කිසිදු විටෙක නොසිතන්න. සැම විටම එම ආහාරපානවලින් තමාගේ සැමියාගේ සහ දරුවන්ගේ කුසගින්න නිවෙනවා යැයි පමණක් සිතට ගන්න. එවිට ඔබට සතුටින් රසවත් ආහාරපාන ඔවුන් වෙනුවෙන් පිළියෙල කරන්නට හැකියාවක් ලැබේවි. මවකගේ වැඩකටයුතු සිදු කළ යුත්තේ මවක් විසින්මය. මක්නිසාද එම වැඩකටයුතු මවක් විසින්ම කර දීම හරහා දරුවන් ඉතාමත් තෘප්තිමත් වන බැවිනි. නිවෙසේ සෑම කටයුත්තක්ම සිදු කරන්නේ දරුවන්ගේ මෙන්ම ස්වාමියාගේ ජීවිත සාර්ථක කරගන්න යැයි ඔබට සිතන්නට පුළුවන් කමක් ලැබේ නම් නිසැකවම ඔබගේ ජීවිතයේ කරදර දොරටුව වැසී යනු ඇත.

 

 

ජීවිතය පිළිබඳව දොම්නසක් වෙනුවට සොම්නසක් ඇති වනු ඇත. ජීවිතයේ ඔබට ලැබුණු සෑම දෙයක්ම ඔබ රැකගත යුතුයි යන අධිශ්ඨානයෙන් නිරන්තරයෙන්ම පසුවන්නේ නම් ඔබට සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. කිසිම විටෙකත් ඔබගේ පීඩනය ඔබගේ ස්වාමියාගෙන් හෝ දරුවන්ගෙන් පිට නොකරන්නට ද වගබලා ගන්න. නැතහොත් ඔවුන් ද ඔබෙන් අෑත් වීමට පුළුවනි. තමාගේ ජීවිතය සුන්දර කර ගන්නේද අසුන්දර කරගන්නේද ඔබමයි. සතුටින් ජීවිතේට මුහුණ දීමට හැකියාවක් පවතී නම් ඔබගේ ජීවිතය මෙන්ම ඔබගේ ආදරණීයයන් ගේද ජීවිත සතුටින් ආශ්වාදයෙන් පිරී යනු ඇත. වර්තමානයට අවශ්‍ය වන්නේ එයම නොවේද.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

654 Views

Comments

arrow-up