ඔබේ නිවසේ ආරක්ෂාවට සරල පිළියම්

ඕනෑම කෙනෙකුට ඇති සුරක්ෂිතම ස්ථානය තමන්ගේ නිවස. සතුට සැනසුම ජීවය රැකවරණය සැලසෙන්න නිවස තරම් සුදුසු වෙනත් තැනක් නැති තරම්. මේ නිවසේ ආරක්ෂාව තහවුරු කරගැනීම අද ඇත්තටම අභියෝගයක් වෙලා තියෙනවා. ඒ හොර හතුරු උවදුරු සහ වෙනත් අනතුරු නිසයි. ගෙවල් බිඳීම් ඒ ආශ්රිත මංකොල්ලකෑම් මේ නිසාම ජීවිත අහිමිවීම ඇතැම්විට දූෂණ වලට පවා ලක් වීම වගේ ඛේදජනක සිදුවීම් රැසක් එදිනෙදා ජීවිතයෙදි අපිට සමාජයෙන් අහන්න දකින්න ලැබෙනවා. මේ නිසා නිවසේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්යවී තිබෙනවා. මේ නිසාම තාක්ෂණික ආරක්ෂක උපාංග ඕනෑ තරම් දැන් අලෙවි කෙරෙනවා. එහෙත් ඔබට හැකියාවක් තිබෙනවා නම් පෞද්ගලික ආරක්ෂක හා තාක්ෂණික සේවා සපයන ආයතනයක සේවාව ලබාගැනීමටද පුළුවන්.
කොහොම නමුත් නිවසේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා ගත හැකි ඉතා සරල ක්‍රියාමාර්ග පිළිබඳ ලොකු කුඩා සියලු දෙනාම දැනුවත් වීම බෙහෙවින් සාර්ථක වෙනවා. ඊට අනුගමනය කළ යුතු සරල පියවරයන් කිහිපයක් පහතින් දැක්වෙනවා.
*නිවසේ සෑම පිවිසුමක් අසලම විදුලි පහනක් ස්ථාපිත කරන්න. ඒවා සොරුන්ට අක්‍රීය කල නොහැකි වන අයුරින් ස්ථාපිත කරන්නටත් වගබලාගන්න.
*ටික දිනකට නිවසින් බැහැරව යනවනම් ලිපි ලේඛන හා පුවත්පත් බෙදා හරින සේවා තාවකාලිකව නතර කරන්න පුරුදුවෙන්න.
* ඔබේ නම යෙදූ පුවරුවක් වෙනුවට නිවසේ අංකය පමණක් ප්‍රදර්ශනය කරන්න වග බලාගන්න. *දුරකථන නාමාවලියක් සඳහා ඔබේ නම යොදනවා නම් මුල අකුරු පමණක් භාවිතා කරන්න උපදෙස් දෙන්න.
* නිවසේ දුරකථන වොයිස් මැසේජ් සේවාව භාවිතා කරනවා නම් නිවසේ නොමැති බව ප්‍රචාරය කෙරෙන පණිවිඩය සක්‍රීය නොකර තබන්න.
* හදිසි අවස්ථාවකදී ඔබට විශ්වාස කළ හැකි අසල්වාසීන් කවුද යන්න හඳුනාගෙන සිටින්න.
*නිවසේ වටිනා භාණ්ඩ සෘජුව පිටත සිටින්නන්ගේ ඇසට නොගැසෙන ස්ථානවල තබන්න. එවැනි භාණ්ඩ ප්‍රදර්ශනය වීම සොර සතුරන්ගෙන් සැලසුම්වලට විශාල රුකුලක් වෙනවා.
*අමුත්තෙක් පැමිණි විට දොරට තට්ටු කළ විට හෝ සීනුව නාද කළ පමණින් දොර විවෘත කරන්න එපා. දොර ඉදිරිපිට සිටින්නේ කවුදැයි නිශ්චිතව හඳුනාගැනීමට video door phone මෙවලම ඉතාම වැදගත් වෙනවා. එහෙමත් නැත්නම් මැජික් අයි උපකරණය සවි කරන්න. එය නිවසේ ඉදිරිපිට දොරටුවට සවි කිරීමෙන් පිටත සිටින අය පහසුවෙන් දැකගත හැකි වෙනවා. මෙම උපාංගය සාමාන්‍යයෙන් රුපියල් තුන්සීයක් පමණ මිලක් වෙනවා. මේ අනුව අවශ්‍ය පුද්ගලයින් සඳහා පමණක් ඔබට දොරටුව විවෘත කරන්න පුළුවන්.
මේ සරල උපදෙස් අනුගමනය කර ඔබත් ඔබේ නිවස සුරක්ෂිත ස්ථානයක් බවට පත් කරගන්න.
by Dilki Shamani
Photo Source: Internet
708 Views
Comments