මොකක්ද මේ ඉක්කාව

ඉක්කාව ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඊට බලපෑ සැබෑ හේතුව ඔබ දන්නවාද? මේ ඒ පිළිබඳ සටහනක්.
ඉක්කාව ඇතිවෙන්නෙ මහාප්‍රාචීර පේශියේ (diaphragm) ඇතිවෙන පේශි ගැස්මක් හෙවත් භ්‍රාශයක් (spasm) නිසා කියලා තමා දැනට හොයාගෙන තියෙන්නෙ. මේ මහාප්‍රාචීරය මගින් තමා අපේ පපු කුහරය උදර කුහරයෙන් වෙන් කරන්නෙ. මේ පේශි භ්‍රාශය නිසා අපි ගන්න හුස්ම ස්වර තන්ත්‍රවලදී ක්ෂණික නැවතීමකට ලක් වෙනවා. අන්න එතකොට තමා ඉක්කාව නමින් හඳුන්වන “ඉක්” ශබ්දය පිටවීම සිදුවෙන්නේ.
සාමාන්‍යයෙන් ඉක්කාවක ආයු කාලය වෙන්නෙ මිනිත්තු කීපයක ඉඳලා පැය කීපයක් දක්වා කාලයක්. පැය 48කට වඩා කාලයක් රඳාපවතින ඉක්කාවක් අපි හඳුන්වන්නෙ persistent hiccups කියන පොදු නාමයෙන්. ඉතින් ඉක්කාවක් මාසෙකටත් වඩා කාලයක් තියෙනව නම් අපි ඒකට කියනවා intractable hiccups කියලා. මේකනම් හරිම කරදරකාරී ඉක්කාවක්. මේ වගේ ඉක්කාවකට පුළුවන් අපේ ජීවිතේ උඩුයටිකුරු කරන්න. අපේ නින්ද අවුල් කරලා දාලා සිරුරේ බර අඩුකරලා අපිව වෙහෙසට පත්කරන්න මේ වගේ දීර්ඝ කාලයක් පවතින ඉක්කාවකට පුළුවන් කියලා මතක තබා ගන්න.
ඉක්කාව ඇතිකරන ප්‍රධානතම හේතුව වෙන්නෙ අධිකව පිරුණු උදරය. ඉක්මනින් අනවශ්‍ය තරම් ආහාර ප්‍රමාණයක් ගිල දැමීම, අධික මත්පැන් පානය හා අමාශයේ හුළං පිරීම නිසා මෙහෙම උදරයක් ඇතිවෙන්න පුළුවන්.මීට අමතරව, දුම්පානය, ආමාශයේ ඇතිවෙන ක්ෂණික උෂ්ණත්ව වෙනස්වීම් උදාහරණයක් ලෙස ණුසුම් පානයක් ගැනීමෙන් අනතුරුව ඒ සමඟම ශීතකළ පානයක් ගැනීම හා මානසික ආතතිය අධික උද්වේගය වැනි තත්ව නිසාත් ඉක්කාව ඇතිවිය හැකියි.
නමුත් දීර්ඝ කාලීන ඉක්කාවක් ඇති කරවිය හැකි රෝග තත්ත්ව ඇති බව ඔබ දන්නවාද?
පිළිකා තත්ත්ව, ආසාදන, ආඝාත තත්ත්ව හෝ අනතුරු වැනි මධ්‍ය ස්නායු පද්ධතියේ ඇතිවන ආබාධ මෙන්ම සිරුරේ රසායනික ක්‍රියාවලීන්ගේ ඇතිවෙන වෙනස්කම් ඉක්කාව මගින් දැනුම්දිය හැක.
බොහොමයක් ඉක්කා තත්ත්ව මිනිත්තු කීපයක සිට පැය කීපයක් දක්වා කාලයකදී ඉබේම නැති වී යන නිසා විශේෂ ප්‍රතිකාරයකට යොමුවීම අවශ්‍ය වෙන්නේ නෑ. ඉක්කාව සුවකරගන්න නිවසේදීම කරගන්න පුළුවන් සරල ප්‍රතිකාර ක්‍රම බොහොමයක් තියෙනවා. මේවායින් ගොඩක් වෙලාවට වෙන්නෙ රැධිරගත කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ නැංවීම.එවැනි අවස්ථාවක ශීතකළ වතුර වීදුරැවක් වේගයෙන් පානය කිරීම, හුස්ම අල්ලාගෙන සෙමෙන් දහයට ගණන් කිරීම හෝ සීනි හෝ පැණි හැන්දක් ආහාරයට ගැනීම ඔබට කළ හැක. එවිට එවැනි තත්වයන් පහසුවෙන් සමනය වන නමුත් දීර්ඝකාලීනව ඔබට ඉක්කව ඇතිවේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.
by Dilki Shamani
Photo sourse : Internet
1319 Views
Comments