ගෙවත්තට ශාක සාර පළිබෝදනාශක

මේ දිනවල ගෙවතු වගාවන් සඳහා රට පුරා සියලු දෙනාගේ උනන්දුවක් තිබෙනවා. නමුත් ඔබත් ඔබේ ගෙවත්තේ වගා කරන එළවළු පලතුරු සඳහා කෘත්‍රිම රසායනික පොහොර භාවිතා කරනවා නම් ඔබේ ගෙවතු වගාවේ ප්‍රයෝජනය ඉතාම අල්ප වෙනවා. මේ සූදානම් වෙන්නේ ශාක යුෂ භාවිතා කරලා පළිබෝධනාශක සකස් කරගන්න පුලුවන් විවිධ ක්‍රම කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න.
• දුම්කොළ යුෂ
දුම්කොළ නැටි, කඳ හෝ දුම්කොළ පල් කිරීමෙන් ලබාගන්නා යුෂ කෘමිසතුන් පළවා හැරීමට සහ ගොළුබෙල්ලන් පාලනයට යොදා ගැනේ. මේ සඳහා දුම්කොළ, කුඩු තේ හැදි 04 ක් පමණ වතුර ලීටර් 02 කට එකතුකර, හොදින් කලවම්කර, වගාවන්ට යෙදීමෙන් කෘමීන් පලවා හැරියහැක.
• සුදු ලූණු
සුදු ලුණු ග්‍රෑම් 100 ක් සහ සබන් ග්‍රෑම් 10 ක් සිහින්ව අඹරා, වතුර ලීටර් ½ ක් එයට මිශ්‍රකර පැය 24 ක් තබා එම මිශ්‍රණයට තවත් ජලය ලීටර් 2 1/2 ක් එකතුකර කෘමි සතුන් සිටින බෝගවලට යෙදිය හැක. තවද සුදු ලුණු ග්‍රෑම් 50 ක් සිහින්ව අඹරා වතුර ලීටර් 01කට මිශ්‍රකර කෘමි සතුන් සිටින බෝගවලට ඉසීමෙන් කෘමි සතුන් පලවා හැරේ.
• අනෝදා කොළ
අනෝදා කොළ කිලෝග්‍රෑම් 1ක් ගෙන හොදින් කොටා ජලය ස්වල්පයක් එක්කර ඉස්ම මිරිකා ගන්න. සාදාගත් ඉස්ම ලීටර් 1 ක්, මිලි ලීටර් 500 වනතුරු හිදගන්න. පසුව සබන් හා පල්මානික්කම් ග්‍රෑම් 10 ක් සමග මිශ්‍රකර යොදන්න. සියලුම කෘමීන් පලවා හැරීම සඳහා මෙය ප්‍රයෝජනවත් වේ. අනෝදා ඇට පතක් කොටා අඹරා ජලය ලීටරයක දියකර පෙරා ගත් දියරය ඉසීමෙන් යුෂ උරාබොන මකුණන්, පැල හා පත්‍ර කීඩෑවන්, කුඹින්, වේයන්, නයිකූඹින් පාලනය වේ. සතියකට වරක් භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රථිපල ලබා ගත හැක.
• කොහොඹ
ලොව ඇති සාර්ථකම ස්වාභාවික පලිබෝධනාශකය කොහොඹ ලෙස සැලකේ. කොහොඹ කොළ, මල් හා පොතු මෙන්ම කොහොඹ ඇටද බහුලව පලිබෝධ පාලන මිශ්‍රණ සැකසීම සදහා යොදා ගැනෙන අතර කොහොඹ ඇට වල පලිබෝධනාශක ගුණය වැඩිය. කොහොඹ නිස්සාරකය සාදා ගැනීම හොදින් වේලන ලද කොහොඹ ඇට ග්‍රෑම් 50 ක් ගෙන එය ඉතා සියුම්වට කුඩුකර, වතුර ලීටර් 01 කට මිශ්‍ර කර, පැය 12 ක් පමණ අදුරේ වසාතබා, හොදින් පෙරා සාදා ගන්නා ද්‍රාවණයට සබන් ස්වල්පයක් මිශ්‍රකර, ඉසින යන්ත්‍රයකින් හෝ වෙනත් ක්‍රමයකින් පත්‍රවල යටිපැත්තේ තැවරෙන සේ ඉසිය යුතුය. කොහොඹ නිස්සාරකය සවස්වරුවේ යෙදීමෙන් ඉතා හොද ප්‍රතිඵල ලැබේ. තද හිරුඑළිය ඇති වෙලාවට හෝ උදේ වරුවේ යෙදීම නුසුදුසුය.
ඔබත් මේ ස්වභාවික ශාක සාරයෙන් පලිබෝධනාශක පිළියෙල කර වස විසෙන් තොර ආහාර පරිභෝජනය සඳහා හුරුවන්න.
by Dilki Shamani
Photo source : Internet
1407 Views
Comments