ඔබ නොදත් ඔබේ දත් වලට අගුණ දේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

ඔබ නොදත් ඔබේ දත් වලට අගුණ දේ

ඔබ නොදත් ඔබේ දත් වලට අගුණ දේ

අපගේ ශරීරයේ ඉතාමත් වැදගත් වූ කොටසක් තමයි අපගේ දත් කියලා කියන්නේ. බොහොමයක් අවස්ථාවලදී අපගේ දත්වලට සිදුවන හානි නැවතත් යථා තත්වයට පත් කරගැනීමට නම් අපහසුයි. කෝපි , පැණිරස කෑම හා බීම වර්ග , සෝඩා වර්ග අපගේ දත්වලට හානිදායකයි කියලා අපි කොයි කවුරුත් දන්නවා නේ. ඒත් දත්වලට බලපෑමක් එල්ල කළ හැකි අපි නොදන්නා තවත් බොහෝ දෙවල් තිබෙනා බව ඔබට කිවහොත් ? ඔව්.. එසේ බලපෑමක් සිදු කරන හේතු කාරණා කිහිපයක් පිළිබඳව කථා බහ කරන්නට අප මෙම ලිපිය වෙන් කළා.

- ආතතිය


මානසික ආතතිය අපගේ ශරීර සෞඛ්‍යයට සෘජුවම බලපාන සාධකයක් බව අපි කොයි කවුරුත් දන්නා කරුණක්. එහෙත් එහි වැඩි බලපෑමක් එල්ල වන්නේ අපගේ දත්වලට බව ඔබ දන්නවාද ? එමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි ක්‍රියාකාරිත්වය අඩාල වන අතර විවිධාකාර විදුරුමස් ආශ්‍රිත වූ රෝගයන්ට මුහුණ පෑමට අපට සිදු වෙනවා. මෙහිදී ඇති වන රෝග ලක්ෂණ කිහිපයක් නම් විදුරුමසින් ලේ ගැලීම , ඉතා ඉක්මනින් දත් නරක් වීම විශේෂයෙන්ම අපගේ හකු ප්‍රදේශයෙහි දත්වලට බලපෑමෙන් එම දත් අහිමි වීමට පවා ඉඩකඩ වැඩි වනවා. ඔබටත් මේ වන විට මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම ඔබගේ දන්ත වෛද්‍යවරයා හමුවීමට යන්න.

- රුධිරයේ අධික සීනි


රුධිරයේ සීනි මට්ටම වැඩි වීම දියවැඩියා රෝගීන්ට සිදුවන දෙයක්. මෙසේ වැඩි වීමෙන් අපගේ තොළ , කට වේලීමකට නිතර නිතර ලක්වනවා. මෙය බොහෝ විටදී එම රෝගයට දෙනු ලබන බෙහෙත් වලටත් බලපානවා. මෙම හේතුව නිසා ඔබගේ දත්වලට සැළකිය යුතු මට්ටමට බලපෑමක් එල්ල කරන බව මතක තබා ගන්න.

- පළතුරු වර්ග

 


කොයි කාටත් ඉතා ගුණදායක දෙයක් තමයි මේ පළතුරු කියලා කියන්නේ ඒත් පළතුරු වලින් අපගේ දත්වලට ඇතිවන බලපෑම කුමක්ද ? පළතුරු වලත් පැණි රස අඩංගුයි. උවමනාවට වඩා පළතුරු වර්ග ආහාරයට ගැනීමෙන් එය බලපෑමක් එල්ල කරනවා. අපගේ මුඛයේ ඇති බැක්ටීරියා වර්ග මගින් මෙම පළතුරු වල ඇති සීනි , ඇසිඩ් බවට පරිවර්තනය කරනවා. එයින් අපගේ දත්වලට සැළකිය යුතු ලෙස හානියක් ඇති කරනවා. එයින් අදහස් වෙන්නේ ඔබ පළතුරු ආහාරයට නොගත යුතුයි යන්න නොවෙයි. හැකිතාක් ආහාරයට ගැනීම අවම කරන්න කියන එකයි.

- බීම වර්ග


අපි සාමාන්‍යයෙන් පළතුරු ජූස් , වෙනත් බීම වර්ග ඉතා සෙමෙන් රස බලමින් පානය කරනවානේ. එහෙනම් අද ඉඳන් එය කිරීම නවත්වන්න. හේතුව දත්වල එනැමලය දිරා යාමට වැඩිපුරම බලපාන්නේ මෙහෙම පානය කිරීමේ පුරුද්ද ඇති අයටයි. ගොඩක් සීතල හෝ ගොඩක් රස්නෙන් බොන පානයන් වර්ගත් අපේ දත්වල පැවැත්මට සෘජුවම බලපානවා. අපි පෙර සඳහන් කළ පළතුරු වල ක්‍රියාකාරිත්වය මෙහිදීද සිදු වන නිසා. ඔබ බීම බොන්න පුරුදු වුණ අයෙක් නම් බීම බටයක් ආධාරයෙන් බීමට පුරුදු වන්න. වයින් වැනි දෑ අඩු ප්‍රමාණයෙන් ගෙන ඉතා ඉක්මනින් අවසන් කළ යුතුයි. මෙමගින් දත්වලට සිදු වන හානිය අවම කරගැනීමට හැකියාව ලැබෙයි.

- බත් , අල හා පැස්ටා වර්ග


පැණිරස කෑම ජාති , බිස්කට් හෝ පළතුරු වලට අමතරව මෙන්න මේ කියන ආහාර වර්ගත් ඔබගේ දත්වලට අගුණයි. මේ ආහාර වර්ග වලත් සීනි අඩංගු වන නිසාත් ඔබේ මුඛය තුළ මෙය ඇසිඩ් වර්ග වලට පරිවර්තනය වීමෙන් දත්වලට හානියක් සිදු කරනවා. දත් කුහර මතුවීමට මෙය හේතුවක් වන නිසා බත් ආහාරයට ගන්නා විටදී බත් අඩුවෙන් හා පෝෂ්‍යදායී එළවළු , පළා වර්ග වැඩියෙනුත් බෙදාගෙන ආහාරයට ගන්න.

- බෙහෙත් වර්ග


ඔබ මේ වන විට යම්කිසි බෙහෙත් වර්ගයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ගන්නවා විය හැකියි. මෙසේ බෙහෙත් වර්ග ගැනීමෙන් මුඛය වියළීම සිදු වනවා. ඊට අමතරව කැස්සට ගන්නා පැණි හෝ සමහර බෙහෙත් පැණි වර්ග වල අධික ලෙස සීනි අන්තර්ගත වනවා. ඒ නිසා මුඛය නිතර තෙත්ව තිබීම සිදු විය යුතුයි.
 


කෙසේ හෝ දිනපතා දෙවරක් දත් මැදීමෙන් , නිතර ජලය පානය කිරීමෙන් හා ආහාර පාන වර්ග ගැනීමෙන් පසුව හොඳින් ජලය මගින් කට සේදීමෙන් , හැකිතරම් මානසික ආතතිය අඩු කරමින් , පෝෂණයෙන් ඉහළ ආහාර වර්ග අනුභව කිරීමෙන් , විවිධ වූ රෝග පාලනය කර ගැනීම තුළින් , යන කාරණා ඔබගේ දත්වලට ඇතිවන හානිදායක තත්වයන් මඟහරවාලීමට උපකාරී වනවා.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

656 Views

Comments

arrow-up