නිවසේ තීන්ත ආලේපයට පෙර සූදානම

ගෙදර තීන්ත ආලේප කරනවා කියන්නේ නම් නිවස ටිකක් හැඩි වෙන කාරණයක්. ඒත් ඉතිං නිවස ලස්සනට තියාගන්න තීන්ත ආලේප කරන්නත් ඕනෑ. ගොඩක් වෙලාවට නිවස පේන්ට් කරන්න ගත්තාම නිවසේ තියෙන අනෙකුත් බඩු බාහිර ආදිය අපිරිසිදු වෙනවා. ඒ නිසා තීන්ත ආලේප කරන්න කලින් මෙන්න මේ පුංචි උපදෙස් ටික අත්හදා බලන්න.
නිවසේ පුංචි කාමරයක වගේ තීන්ත ආලේප කරන්න ඔබට අවශ්‍ය නම් ඒ සඳහා වෙනම පින්තාරු ශිල්පියෙකු ගෙන්වන එක අපරාදේ කියලා හිතෙනවා නම් ඔබටම පුළුවන් තීන්ත ආලේප කර ගන්න. ඉතින් පවුලේ ලොකු පොඩි හැම දෙනාම එකතු වෙලා මේ වැඩේ කරද්දී පොඩි විනෝදයකුත් ලැබෙනවා. පවුලේ සාමාජිකයන් අතර බැඳීමත් වර්ධනය වෙනවා.
තීන්ත බිම ඉහිරිමෙන් බිම අපවිත්‍ර වෙන්න පුළුවන්. ටයිල් මත, ගෙබිම මත තීන්ත ඉහිරුනොත් ඒවා පවිත්‍ර කරන්නට වෙනම පරිශ්‍රමයක් දරන්නට සිදු වෙනවා. මේ නිසා තීන්ත ආලේප කරන්නට කලින්, ඔබේ ගෙබිම පත්තර පිටු වලින් හෝ වෙනත් වැස්මකින් ආවරණය කර ගන්න. එමඟින් තීන්ත ඉහිරිලා ගෙබිම අපවිත්‍ර වෙන එක වලක්වා ගන්න පුළුවන්.
ඒ වගේම පළපුරුද්ද අඩු පුද්ගලයන් තීන්ත ආලේප කිරීමේදී තීන්ත ඉහිරෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. එහෙම වුනොත් අවට ඇති ගෘහ භාණ්ඩ මත තීන්ත ගෑවෙනවා. මේ ගැටලුව මඟ හැර ගැනීම වෙනුවෙන් තමයි ඔබ කාමරයෙන් ගෘහ භාණ්ඩ ඉවත් කල යුත්තේ. එහෙම නැත්තම් ඔබට පුළුවන් පොලිතීන් වැස්මකින් ගෘහ භාණ්ඩ ආවරණය කරන්න. බිත්තියේ කඩතොළු ගැන්වුණු ස්ථාන ආවරණය කලේ නැති නම් තීන්ත ආලේප කල පසුත් ඒවා අසුන්දරව දිස් වෙනවා. මේ නිසා ඉතිරිව ඇති තීන්ත පොතු සූරා ගන්න. මීළඟට පොටි ගැල්වීමෙන් සිදුරු වසා ගන්න.
අපිරිසිඳු බිත්තියක තීන්ත ආලේප කිරීමෙන් අවශ්‍ය සුන්දරත්වය ලබා ගන්න බැරි වෙනවා. මේ නිසා බිත්ති වල තැවරී ඇති පැල්ලම්, තෙල් සහ කුණු ආදිය ඉවත් කර ගන්න. මේ සඳහා සබන් හෝ වෙනත් පිරිසිඳු කාරක ද්‍රාවණයක් යොදා ගන්න පුළුවන්.
නිවසේ දොර උළුවහු සහ ජනෙල් උළුවහු වල තීන්ත ආලේප වීම වලක්වා ගැනීමට මාස්කින් ටේප් යොදා ගන්න ඔබට පුළුවන්. මාස්කින් ටේප් යොදා කොන් ආවරණය කිරීමෙන් පසුව තීන්ත ආලේප කිරීමෙන් පිළිවෙලට තීන්ත ආලේප කර ගන්න පුළුවන්. ඉතින් මේ පුංචි උපදෙස් ටික අනුගමනය කළොත් කිසි කරදරයක් නැතුව ලස්සනට ගේ වර්ණ ගන්වලා ආපහු තිබුණු තත්ත්වන තත්ත්වයටම පිළිවෙලට පිරිසිදුව තියාගන්න එක අමාරු වෙන්නේ නම් නැහැ.
By : Dilki Shamani
Photo Source : Internet
860 Views
Comments