මරුට අත වනන පෙනහළු පිළිකා

පිළිකා රෝගය යන වචනය ඇසුණු සැනින්ද අපගේ සිත් තුළට පැමිණෙන්නේ බියකි. මක්නිසාද පිළිකා රෝගය පුද්ගලයන්ට වැළඳෙන ඉතාමත් දරුණු මාරාන්තික රෝගයක් වන නිසාවෙනි. වර්තමානයේ දී විවිධ පුද්ගලයන් අතර විවිධ වූ පිළිකා විශේෂ දක්නට ලැබෙන අතර ඉන් ප්‍රධාන තැනක් ගන්නා පිළිකා විශේෂයකි පෙණහලු ආශ්‍රිතව ඇතිවන පිළිකාව.
මාරාන්තික පෙනහළු පිළිකාව බොහෝ විට ශ්වසන මාර්ගය ආශ්‍රිතව හට ගැනීමේ අවකාශයක් පවතී. එහිදී පෙනහළු තුල ඇති ස්වාසනාලිකා සහ වා කුහර වැනි සෛල තුළ ද පෙනහලු පිළිකා ඇතිවේ. බහුතරයක් පුද්ගලයන්ට මෙම මාරාන්තික පෙනහළු පිළිකාව වැළඳීමට හේතු වී ඇත්තේ ඔවුන්ගේ පවතින ශරීරයට අහිතකර චර්යා පුරුදු නිසාවෙනි. දුම්පානය, රෙඩෝන් විකිරණ ශරීරගත වීම, ඇස්බැස්ටෝස් හා ආසනික්, නිකල්, දැලි තාර වැනි ද්‍රව්‍යයන්ට වැඩි වශයෙන් නිරාවරණය වීම යනාදී හේතූන් ඉන් කිහිපයකි. පෙනහළු පිළිකා අතරින් බහුලව දක්නට ලැබෙන පෙනහලු පිළිකා විශේෂ වන්නේ කුඩා සෛල පෙනහළු පිළිකා සහ කුඩා සෛල නොවන පෙනහළු පිළිකා වේ.
කුඩා සෛල පෙනහළු පිළිකා SCLC යනුවෙන් හැඳින්වෙන අතර කුඩා සෛල නොවන පෙනහළු පිළිකා NSCLC වශයෙන් ද හඳුන්වනු ලැබේ. මෙම පෙනහළු පිළිකා වර්ග දෙකම එකවර වුවද යම් කිසි පුද්ගලයකුට ඇතිවීමට සුළු සම්භාවිතාවයක් පවතී. නමුත් වර්තමානයේ දී 85% - 90% අතර බහුතරයක් පවතින්නේ කුඩා සෛල නොවන පෙනහළු පිළිකා හෙවත් NSCLC යන පිළිකා විශේෂයයි. ඔබ විසින් කළ යුතු වන්නේ පෙනහළු පිළිකාවක් වැළඳී ඇති මූලික අවදියේම එය හඳුනා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමයි. පෙනහළු පිළිකාවක් වැළඳීමේදී යම් යම් රෝග ලක්ෂණ කිහිපයක්ම පුද්ගලයන් තුළින් මතු වේ. එනම් දිගු කල් නොපවතින සාමාන්‍ය කැස්සක් ඇතිවීම, තදින් හුස්ම ගන්නා විට කහින විට සහ සිනහ වන විට පපුවේ වේදනාවක් ඇතිවීම, කටහඬ ගොරෝසු වීම, සිරුරේ බර අඩු වීම සහ ආහාර අරුචිය, කැස්ස ඇතිවීමේදී රුධිරය පිටවීම හෝ මලකඩ පැහැයෙන් යුත් කෙල හෝ සෙම පිටවීම, හුස්ම හිර වීමේ ස්වභාවයක් ඇතිවීම, ශරීරය දුර්වල වීම සහ මහන්සියක් දැනීම, යළි යළිත් වැළඳෙන නමුත් පහසුවෙන් සුව නොවන බ්‍රොන්කයිටීස් සහ නිව්මෝනියා ආසාදනය වීම, ඇදුම රෝගයට සමාන රෝග ලක්ෂණ මතුවීම යනාදියයි. මෙවැනි ලක්ෂණ කිහිපයක් ඔබට මතු වී ඇත්නම් එය පෙනහළු පිළිකාවක් වන්නට පුළුවන් බැවින් හැකි පමණ ඉක්මනින් සුදුසු වෛද්‍යවරයකු වෙත යොමුවීම වඩාත් යෝග්‍ය වේ. මාරාන්තික පෙනහළු පිලිකාව ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බරපතලම පිළිකා රෝගී තත්ත්වයක් වන අතර ශ්‍රී ලංකාවේ දිනකට පිළිකා රෝගය හේතුවෙන් පුද්ගලයන් තිස්අටක් මියයන අතර නව රෝගීන් හැට හතර දෙනෙක් වාර්තා වන බවටද පර්යේෂණවලින් හඳුනාගෙන තිබේ. තවද වෛද්‍ය වාර්ථාවන්ට අනුව 2018 වර්ෂයේ දී පමණක් විවිධ වූ පිළිකා රෝග හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මියගිය රෝගීන් සංඛ්‍යාව 2152ක් පමණ වූ අතර පෙනහළු පිළිකා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 1196කි. මෙම රෝගී තත්ත්වය කලින්ම හඳුනා ගැනීම තුළින් ඔබට ඔබගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. වෛද්‍යවරුන් විසින් මෙවැනි රෝගීන්ට පපු ප්‍රදේශයේ එක්ස් කිරණ පරීක්ෂාවක් සිදුකිරීමට මෙන්ම සීටී ස්කෑන් පරීක්ෂාවක්, එම් ආර් අයි ස්කෑන් පරීක්ෂාවක්, අස්ථි සම්බන්ධ ස්කෑන් පරීක්ෂාවක්, ස්වාසනාල පරීක්ෂණයක් සහ ජීව පටක පරීක්ෂාවක් කර ගැනීමට උපදෙස් දෙන අතර එමගින් නිශ්චිතවම පෙනහළු පිළිකා රෝගය වැළඳී ඇත්දැයි හඳුනා ගනී.
නිරෝගිමත් දිවි පෙවෙතක් ගත කිරීම සියලුම පුද්ගලයන්ගේ අරමුණයි. කෙතරම් සැප සම්පත් සහ මුදල් තිබුණ ද ඔබ රෝගියෙක් නම් එම සියලුම සම්පත් වෛද්‍යවරුන් සහ ඖෂධ වෙනුවෙන් වැය කිරීමට ඔබට සිදු වනු ඇත. එම නිසාවෙන් ශරීරයේ ඇතිවන සුළු සුළු වෙනස්කම් පවා හොඳින් අධ්‍යයනය කරමින් කල්තියාම නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔබගේ සම්පත් අපතේයාම වලක්වා ගැනීමටද හැකියාවක් ලැබෙන අතර දිගු කාලයක් නිරෝගීව ජීවත් වීමට ද හැකියාවක් ලැබෙනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
21715 Views
Comments