ගර්භනී සමයේදී ඇතිවන මලබද්ධය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
01

ගර්භනී සමයේදී ඇතිවන මලබද්ධය

ගර්භනී සමයේදී ඇතිවන මලබද්ධය

පුංචි කිරිකැටියෙක් තමාගේ කුසට පැමිණීමෙන් පසුව කාන්තාවකට ඇති වන්නේ පුදුමාකාර සතුටක් සහ ආදරයක්. මක්නිසාද එම කිරිකැටියා තමාට මෙලොව දී ලැබිය හැකි උතුම්ම පදවිය දායාද කිරීමට සූදානම් වන නිසාවෙනි. මවකට සමකළ නොහැකි කිසිවෙක් තුන්ලෝකයටම නොමැති තරම්ය. අනේකවිධ වේදනාවන් විඳිමින් තමාගේ දරුවා මෙලොවට බිහි කරන මවක් තම දිවිය පුරාම එම දරුවා ගතින් මෙන්ම සිතින් ද දරාගෙන සිටින්නීය.

 

දරු ගැබක් කුස තුළ දරා සිටීම එතරම් පහසු කාර්යයක් නම් නොවේ. ගැබ් ගැනීමත් සමගම විවිධ වූ කායික සහ මානසික අපහසුතාවන්ගෙන් පෙළීමට මවකට සිදු වේ. එවැනි වර්තමානයේ දී ඇතිවන සුලබ අපහසුතාවයකි ගර්භණී අවධියේදී මවුවරුන්ට ඇතිවන මලබද්ධය. ගර්භණී මවුවරුන්ට මලබද්ධය වැළඳීමට බොහෝමයක් හේතු කාරණාවන් බලපායි. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිසාවෙන් ගර්භනී කාලයේදී බොහෝ මවුවරුන්ට මලබද්ධය ඇතිවේ. එමෙන්ම එම කාලයේදී යකඩ පෙති ශරීරයට ලබා ගැනීම නිසාවෙන් ද මෙවැනි තත්ත්වයක් ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතී. ගර්භණී සමයට පෙර මලබද්ධය තිබූ කාන්තාවන්ට ගැබ් ගත් පසුව මෙම තත්වය දරුණු වීමටද පුළුවනි. මෙම තත්වය සමනය කර ගැනීම සඳහා ගර්භණී මවුවරුන් විසින් වැඩිපුර එළවළු, පළතුරු සහ පලා වර්ග තමාගේ ආහාර වේලට එක්කර ගැනීමට වගබලා ගත යුතුයි. විශේෂයෙන්ම තන්තු සහිත ආහාර වර්ග ශරීරයට ලබා ගැනීම තුලින් පහසුවෙන්ම ආහාර දිරවීමට ලක් වීම මගින් මල බද්ධය අවම කරගත හැකිවේ. එමෙන්ම වැඩිපුර ප්‍රමාණයක් පිරිසිදු ජලය ශරීරයට ලබා ගැනීම තුළින් ද පහසුවෙන් ආහාර ජීරණය කර මලබද්දය වළක්වා ගැනීමට පුළුවනි. මෙම තත්ත්වය වඩාත් වර්ධනය වන බවක් හැඟී යන්නේ නම් අවශ්‍ය වන්නේ හැකි පමණ ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමයි. වැඩි වශයෙන් මෙම තත්ත්වය වර්ධනය වීම මගින් අර්ශස් තත්ත්වයක් ඇති වීමට ද පුළුවනි. අර්ශස් තත්ත්වයක් ඇතිවන්නේ ගැබ් ගෙන අවසාන මාස 3 තුළදී ය. එසේ වන්නේ ගැබ් ගැනීම නිසා මවකගේ උදර කුහරය තුළ පීඩනය වැඩි වීම නිසාවෙනි. එවිට සාමාන්‍ය ලෙස සිදුවිය යුතු රුධිර ගමනාගමනයට බාධා ඇති වේ. මල බද්ධය සහිත මවුවරුන්ට යම් යම් ප්‍රතිකර්ම නිවසේදීම සිදුකර ගැනීම මගින් යම් තාක් දුරට සහනයක් ලබා ගැනීමට හැකියාවක් පවතී. අර්ශස් ගෙඩි ඇති ස්ථානයේ ගුදය ආශ්‍රිතව icepack එකක් තැබිය හැකිය. එමගින් ගෙඩි හැකිලීමකට ලක් වේ. වේදනාවක් ඇති වේ නම් වෛද්‍ය උපදෙස් මත ලබා ගන්නා ආලේපන වර්ගයක් භාවිතා කිරීමටද පුළුවනි. තවද අධික ලෙස වේදනාවක් ඇති වේ නම් රුධිර කැට ගැසීමක් සිදු වුවහොත් ශල්‍ය වෛද්‍ය වරයකුගේ උපදෙස් ගැනීම කළ යුතුවේ. බොහෝදුරට මෙම තත්ත්වය දරු ප්‍රසූතියෙන් පසුව පහව යාමක් සිදුවේ.

 

 


ගර්භණී බව කාන්තාවකට ලැබෙන සුවිශේෂී භාග්‍යයකි. එමනිසාවෙන් ශරීරයට දැනෙන ඕනෑම අපහසුවක් විඳදරා ගැනීමට ඇයට පවතින හැකියාව විශ්මිතයි. එමනිසාවෙන් ඔබේ මවට නිසි ගෞරවය සහ ආදරය දැක්වීම ඔබ විසින් කළ යුතුම කාර්යභාරයක් නොවේද.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

927 Views

Comments

arrow-up