කාලය ඉතුරු කරගන්න මේ විදිහට මුළුතැන්ගෙය සැලසුම් කරන්න

නිවසක් සැලසුම් කිරීමෙදී ඔබ විසින් නිවසේ මුළුතැන්ගෙට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මක්නිසාද නිවසේ සාමාජිකයන් දිනකට සැලකිය යුතු ප්‍රමාණයක් මුළුතැන්ගෙය තුළ ගත කරන බැවිනි. එබැවින් මනාලෙස මුළුතැන්ගෙයි අංග සැලසුම් කර තිබීම ඉතාමත් වැදගත්. මුල්තැන්ගෙය සඳහා සැලසුම සකස් කිරීමේ කාර්යභාරය බොහෝදුරට පැවරෙන්නේ ගෘහණියට යි. ඇයගේ වැඩ පහසු වන පරිදි මුළුතැන්ගෙය සැලසුම් කර ගැනීමට හැකියාවක් පවතී නම් එය කෙතරම් වටිනවාද.
විවෘත සැලසුම් ක්‍රමයට අනුව සකස් වන නිවසක් නම් මේ පිළිවෙල හොඳින්ම ක්‍රියාත්මක විය යුතුයි. මක්නිසාද එවැනි නිවෙස්වල මුළුතැන්ගෙය විසිත්ත කාමරයට පවා දර්ශනය වන නිසාවෙනි. මුළුතැන්ගෙය සඳහා ප්‍රධාන කොටස් තුනක් අත්‍යවශ්‍ය වේ. ලිප, සින්ක් එක සහ ශීතකරණය යනු එම කොටස් තුනයි. ගෘහණියක් විසින් මුළුතැන්ගෙයි වැඩ කරන විට බහුලවම භාවිතා වන්නේ මෙම කොටස් තුනයි. මෙම කොටස් තුන ත්‍රිකෝණාකාර වශයෙන් සැලසුම් කර ගැනීම මගින් ගෘහණියකගේ වැඩ පහසු කරයි. මීටරයක් වැනි දුර පරතරයකින් මෙම අංග තුන පිහිටා තිබිය යුතු අතර ඉහුම් පිහුම් කටයුතු වලදී වැදගත් වන තුනපහ ටිකත් ගෑස් උදුන අසලින්ම තබා ගැනීමට හැකියාවක් පවතී නම් එය ද වඩා පහසුවකි. තවද මුළුතැන්ගෙට අවශ්‍ය විදුලි උපකරණ ස්ථානගත කිරීමටද වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ගෑස් උදුන ඇති ස්ථානයේ ඉහළින් කබඩ් තිබීම සුදුසු නැත. එවිට එම කබඩ් රත් වී පලුදු වීමට හැකි බැවිනි. පැන්ට්‍රි කබඩ් සවි කිරීමේදී විදුලි උපාංග තබන ස්ථාන පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව ඔබට දැන් වැටහෙනවා ඇති. විදුලි ප්ලග් සවි කරන විට විදුලි උපාංග වලට වෙන් වෙන් වශයෙන් සවි කිරීමද ඉතාමත් වැදගත්. සින්ක් එක ඇති තැනටත් ලිප ඇති තැනටත් විදුලි බුබුළු යෙදිය යුතුයි. මක්නිසාද එම ආලෝකයෙන් ඔබගේ කාර්යයන් සිදුකර ගැනීමට පහසුවක් වන නිසාවෙනි. තවද මුළුතැන්ගෙයි ජනෙල් තිබිය යුත්තේ සින්ක් එකක් ඇති තැනකයි. එවිට මුළුතැන්ගෙට පිළිවෙලක් සහ ලස්සනක් එකතු වේ. නිවස ඇතුළත පිරිසිදු කරන කොසු ආදියද තැන්පත් කිරීම සඳහා වැඩිය ඇස නොගැටෙන ස්ථානයක් සකස් කර ගැනීමද වඩාත් වැදගත්.
මෙවැනි සුළු සුළු කරුණු සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්වීම මගින් ඔබට වඩාත් ලස්සන සහ සිත් ඇදගන්නා සුළු මුලුතැන්ගෙයක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් ලැබේවි. එවිට ඔබේ නිවසට පැමිණෙන අමුත්තන් ද ඔබගේ මනා සැලසුම්කරණ හැකියාව පිළිබඳව පුදුමයට පත්වී ඔබව අගය කරනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
19168 Views
Comments