ඔබට ලෝකය පෙන්වන ඇස් ඔබ සුරකිනවාද
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

ඔබට ලෝකය පෙන්වන ඇස් ඔබ සුරකිනවාද

ඔබට ලෝකය පෙන්වන ඇස් ඔබ සුරකිනවාද

අපට පෙනීම ලබාදෙන සංවේදී ඉන්ද්‍රිය වන්නේ ඇසයි. ඇස් දෙක මගින් එකවර එකම දෙයක් දෙස බැලීමට හැකි වීම ද්විනේත්‍රික දෘෂ්ටිය ලෙස හඳුන්වන බව ඔබ දන්නවාද. එමගින් අප අවට ද්‍රව්‍ය ත්‍රිමාන ලෙස දැක ගැනීමට හැකියාවක් ලැබෙන අතර කිසියම් දෙයක් ඇති නියමිත දුර හඳුනාගන්නටද පුළුවනි. එම නිසාවෙන් යම් යම් සියුම් වැඩ කිරීමට අපට පෙනීම ලැබෙයි. ඇසට කිසියම් ආගන්තුක ද්‍රව්‍යයක් හෝ විසබීජයක් ඇතුල්වීම වළක්වාලීමට ස්වභාවයෙන්ම ඇහිබැම සහ ඇසිපිය පිහිටා ඇත. ඇහිබැම ඇසට ඉහළින් ඇසට වඩා ඉදිරියෙන් නෙරා පවතින්නේ එබැවිනි. ඇසට යම් ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වූ විට වහාම ඇසිපිය සැලීම වේගවත් වී එය ඉවත් කිරීමට කටයුතු කරන අතර ත් කළ නොහැකි වුවහොත් කඳුළු ග්‍රන්ථිවලින් කඳුළු ස්‍රාවය කර ස්වභාවිකවම ඉවත් වේ. යමක් ඔබේ ඇසේ ගැටීමට යාමේදී ක්ෂණිකවම ඔබගේ ඇස් පියවෙනවා නේද. එසේ සිදුවන්නේ ඇසට සිදුවිය හැකි හානිය අවම කිරීමටයි.

ඇස් සුරැකීමට අනුගමනය කළ යුතු සෞඛ්‍යවත් පිළිවෙත් ගණනාවක් පවතින බව ඔබ දන්නවාද. ඇස් වල පෝෂණයට වැදගත් පෝෂකයක් වන විටමින් a බහුල ආහාර වර්ග පලාවර්ග කැරට් සහ කහ පැහැති එළවළු පලතුරු දිනපතා අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට එකතු කර ගැනීම ඔබගේ ඇස් සුරැකීමට උපකාරී වනු ඇත. එමෙන්ම ඇසට තුවාල සිදුවිය හැකි අනාරක්ෂිත වැඩ වලින් ඉවත් වීමද වැදගත් වන අතර හානිකර රසායන ද්‍රව්‍ය සහ කිරණ ඇසට ඇතුලු වීම වලක්වා ගැනීම සහ රසායන ද්‍රව්‍ය සමඟ කාර්යයන් කිරීමේදී ඇස් ආවරණ පැළඳීම ද කළ යුතුයි. දැඩි හිරු රශ්මිය යෙදී ඇසට හානි වීම වැලැක්වීමට ප්‍රමිතියකින් යුතු අව්කණ්නාඩි වෛද්‍ය උපදෙස් මත භාවිතා කිරීමටද ඔබට පුළුවනි. ඔබ එක දිගට පරිගණකය භාවිතා කරන අයෙක් නම් එසේ කිරීමෙන් වැළකී කඩින් කඩ ඇස් වලට විවේකයක් ලබාදීමද අනිවාර්යයෙන්ම කළ යුතු වේ. තවද රූපවාහිනිය නැරඹීමේදී රූපවාහිනියත් ඔබත් අතර අවම දුර රූපවාහිනී තිරය මෙන් 2.5 ගුණයක්වත් විය යුතුයි. උදාහරණයක් වශයෙන් අඟල් තිහක රූපවාහිනී යන්ත්‍රයක සිට අඟල් හැත්තෑ පහක දුරකින් සිටීම පෙන්වා දෙන්නට පුළුවන්.

 

 

 


හිසරදය, ඇසට යමක් වැටීම, යමක ගැටීම, කඳුළු හෝ කබ ගැලීම, ඇස් රතු වීම, නගන ඒම, වැඩිපුර ඇසිපිය සැලීම, වර්ණ අන්ධතාවය, වපරය, පෙනීම අපැහැදිලි වීම ආදියේදී අක්ෂි රෝහල වෙතයාම ද නුවණට හුරු වේ. යමක් ඇසට වැටී ඇති විට ගලායන පිරිසිදු ඇල් ජලයෙන් පමණක් ඇස සෝදා හැරිය යුතු අතර වෙනත් ද්‍රව්‍ය දියර වර්ග අත් බෙහෙත් වර්ග කිසිවිටෙකත් ඇසට ඇතුළු නොකළ යුතුයි. ඇසට බෙහෙත් වර්ග දැමීමේදී වෛද්‍ය උපදෙස් පිළිපැදීමද කළ යුතුයි. අව් කණ්ණාඩි, ඇස් වලට යොදන කාච සහ කණ්නාඩි භාවිතයේදී නිසි වෛද්‍ය උපදෙස් මත තෝරා ගැනීම සහ ඇස් කණ්නාඩි වෛද්‍ය උපදෙස් මත අවම වශයෙන් වසර දෙකකට වරක්වත් මාරු කිරීම ඔබගේ සුරක්ෂිත කර ගැනීමට ඉවහල් වනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

865 Views

Comments

arrow-up