සෞඛ්‍ය පිළිබඳව අපේ දේශීය උරුමය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
10

සෞඛ්‍ය පිළිබඳව අපේ දේශීය උරුමය

සෞඛ්‍ය පිළිබඳව අපේ දේශීය උරුමය

ශ්‍රී ලාංකීය ගැමි සමාජයේ යාග මඩුවකට තොවිල් පොළකට ගියහොත් අපට නිරතුරුවම අසන්නට ලැබෙන ආශිර්වාදය නම් ආයුබෝවේවා යන්නයි. මේ තුළින් අපට වැටහෙන්නේ ලෙඩ දුක් වලින් තොරව දිගු කාලයක් දිවිගෙවීම අතීතයේ පටන් මිනිසා ගේ අපේක්ෂාවක් වූ බවයි. ලෙඩක් දුකක් නොමැති විට ඇත්තේ සැපත් සනීපයත්ය. අදටත් පැරැන්නන් දෙදෙනකු එකට මුණ ගැසුන විට ඔවුනොවුන් අමතනු ලබන්නේ කෙසේද. ආයුබෝවන් සැප සනීප යනුවෙන් නොවේද. ආයුබෝවන් යන්නෙහි අදහස ආයුෂ බොහෝ වේවා යන්නයි. ලොව සියලු සමාජයන්හි දීර්ඝායුෂ වින්දනය හෙවත් දිගුකල් ජීවත් වීමේ ප්‍රාර්ථනාව ඉතා අගය කොට සැලකේ.

ආයුර්වේදය යන්නෙහි කෙටි අර්ථය නම් ආයුෂ පිළිබඳ විද්‍යාව ලෙස දැක්විය හැකියි. ආයුෂ යනු ජීවිතය හෙවත් ජීවත්වීමයි. එවිට ආයුර්වේදයෙන් ඉගැන්වෙන්නේ ආයුෂ විඳීමේ ශාස්ත්‍රයයි. එහි ඇත්තේ ජීවිතය වින්දනය කිරීමේ විශිෂ්ට දැනුම් පද්ධතිය යි. ආයුර්වේදයට අනුව ආයුෂය වර්ග හතරකි. එනම් සැපවත් ආයුෂය, දුක්වත් ආයුෂය, හිතවත් ආයුෂය සහ අහිතවත් ආයුෂයයි. සැපය යනු සුවයයි. සැපයට පත් වීම සුව පත්වීමයි. සැපයෙන් යුක්තව දිවි ගෙවීම සුවපත් ජීවිතය වන අතර ඊට විරුද්ධ වන්නේ දුක් සහිත ජීවිතයයි. මේ අතරින් අපට අවශ්‍ය වන්නේ සුවපත් ජීවිතය බව අමුතුවෙන් කිව යුතු නොවේ. හිතවත් බව යනු අන් අයට කරදරයක් නොමැතිව යහපත් ලෙස ජීවත් වීම වන අතර අහිතවත් යන්නෙන් හැඟවෙන්නේ එහි විරුද්ධ පැත්තයි. යහපත අයහපත අතරින් පැසසුමට ලක් වන්නේ යහපත් බවයි. එබැවින් අපට යහපත් ජීවිතයක් අවශ්‍ය වනු ඇත.

එසේනම් පුද්ගලයා දිගු කලක් ජීවිතය ගත කිරීම සඳහා තෝරාගත යුත්තේ සුවපත් සහ යහපත් පැවැත්ම යි. සුවපත් බව සහ යහපත් බව පවත්වාගෙන යාමට අනුගමනය කළ හැකි ක්‍රියා පිළිවෙලක් ආයුර්වේදයේ සඳහන් වේ. සෞඛ්‍යසම්පන්න භාවය සියලු දෙනාටම ජීවිතයේදී ලද හැකි වඩාත්ම වටිනා සම්පතක් බව අපි වටහා ගනිමු. සතුට රඳා පවතින්නේ ද ඒ මතයි.

 

 

 


අපේ පැරැණි සමාජය පිළිබඳව විමසා බලන විට ඈත අතීතයේ දී මුතුන්මිත්තන් විසින් කළ කී දෑ හාස්කම් දස්කම් විස්කම් ලෙසින් හඳුන්වන්නේ ඇයි. වැව් දාගැබ් කෙත්බිම් ආදී දැවැන්ත කර්මාන්ත දැතේ සවියෙන් කළ නිසාවෙන් නොවේ ද. එපමනක් නොව ලොවටම බත සැපයූ පෙරදිග ධාන්‍යාගාරය නමින් විරුදාවලිය ලැබුවේ ශ්‍රී ලංකාවේ පැවැති සමෘද්ධිය සෞභාග්‍ය සහ සංවර්ධනය නිසාවෙනි. සියලුම යුතුකම් ඉටු කරලීමට සමත් දේශීය දැනුම් සම්භාරයක් පරපුරෙන් පරපුරට අපට හිමිව තිබූ බව නොරහසකි. මුල් යුගයේ පැවති ජීවන රටාව තුලින් සෞඛ්‍යසම්පන්න භාවය නිරායාසයෙන්ම ළඟා කරගත් බව අදත් සියවස් පිරුණු ගැමියෙකු වෙතින් කරුණු ඇසීමෙන් දැන ගන්නට පුළුවනි. ඔවුන්ගේ කායික මානසික ශක්තිය පිරිපුන් ජීවිතයක අතීතය මනාව කියාපායි. ආහාරපාන ඇවතුම් පැවතුම් තුළින් ගොඩනඟාගත් යහපත් ජීවන රටාව නිසාවෙන් සුවපත් දිවියක් ලැබෙන බවට ජීවමාන සාක්ෂියක් ඒ තුළින් මතු වනු ඇත.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

553 Views

Comments

arrow-up