ආහාර ආසාත්මිකතා පිළිබඳව ඔබ දැනුවත්ද

ඔබ අප සෑම සියලු දෙනාම එදිනෙදා ජීවිතයේදී විවිධාකාරයේ ආහාර වර්ග අපගේ සිරුරට ලබා ගනියි. ආහාර ලබා නොගනිමින් මෙලොව කිසිම සත්වයෙකුට ජීවත් විය නොහැක. සමහර ආහාර වර්ග සමහර අයට ඇලජික්. නැතහොත් ඔබ අප ලබාගන්නා ආහාර මගින් සිරුර තුළ කිසියම් ආසාත්මිකතාවක් ඇති කිරීමට පුළුවනි. මෙම අසාත්මිකතාවන් විවිධ ස්වරූපයන් ගත හැකියි. එය ඇගේ පලු කරප්පන් හා දද ඇති වී ඇඟ කැසීම, මුහුණ ඇස් තොල් ඉදිමීමේ සිට කිවිසුම් යෑම, ඇදුම සහ පීනසේ සිට මාරාන්තික වූ ආසාත්මිකතා කම්පනය හෙවත් anaphylactic shock නැමැති තත්ත්වය ද විය හැකියි. අසාත්මිකතාවන් ඇති කරන ද්‍රව්‍ය ජලයේ දිය වී තිබිය හැකියි. එසේත් නැත්නම් සිරුරට ලබාගන්නා ආහාර වල අඩංගු විය හැකියි. තවද දූවිලි වාතය සහ පින්න සමග මුසු වී තිබිය හැකියි. එසේත් නැත්නම් ඔබ ලබා ගන්නා ඖෂධ වලද අඩංගු විය හැකියි.
ආහාර වල ඇති අසාත්මිකතාවන් නිසා වමනය, පාචනය, බඩේ කැක්කුම, බඩ පුරවා දැමීම, උගුර කැසීම සහ වනවීම ආහාර මාර්ගය තුළ හටගන්නා රෝග ලක්ෂණයන් වෙයි. ඉහත සඳහන් කරන ලද ආසාත්මික තත්ත්වයන් ගෙන් පෙළෙන්නේ නම් ඒ පිළිබඳ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත්. ආසාත්මිකතාව හඳුනා ගන්නා තුරු ප්‍රති ආසාත්මික ඖෂධ ඔබ විසින් භාවිතා නොකළ යුතුයි. ආසාත්මික කාරකය හඳුනාගත් පසු ඒවා ආහාරයට නොගෙන සිටීමට හෝ ඒවා පරිහරණය නතර කිරීමට හෝ පුද්ගලයන් වශයෙන් ඔබ වගබලා ගත යුතුය. සමහර ආහාර වර්ග වැඩිපුර සිරුරට ලබා ගත් විට ඔබට දිරවීමේ ගැටලු ඇතිවිය හැකියි. උදාහරණයක් ලෙස වැඩිපුර කිරි පානය කළ විට හටගන්නා බඩ බුරුලට යාම, ඇඹුල් සහ මිරිස් අධික ආහාර ගත් විට ඇතිවන බඩේ දැවිල්ල හා තන්තු අධික ආහාර ගත් විට ඇතිවන බඩේ පිපුම ආසාත්මික තත්ත්වයන් නොවේ. එම තත්ත්වයන් ඇති වූ විට සිදු කළ යුත්තේ ආහාර පාලනය කිරීමයි. සමහර විට ඔබට ආසාත්මික වන්නේ ආහාරයම නොව ආහාරයට එකතු කරන ලද පාට, රසකාරක හෝ රසායනික ද්‍රව්‍යයන් විය හැකියි. හැකිතාක් පිරිපහදු කළ සහ පැකට් කරන ලද ආහාර වෙනුවට ස්වභාවික ආහාර ගැනීමෙන් එවැනි තත්ත්වයන් මගහරවා ගත හැකියි.
බොහෝ අසාත්මිකතාවන් ඇති කරනු ලබන්නේ ප්‍රෝටීන් මගින් බව ඔබ දන්නවාද. කිරි බිත්තර මස් මාළු අන්නාසි තක්කාලි හතු වර්ග වල ඒවා බහුලව පවතී. ඒවා ගිනියම් ආහාර ලෙස සාමාන්‍ය ජනතාව හඳුන්වන්නේ එබැවිනි. මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණ නම් එක් අයෙකුට අසාත්මික ද්‍රව්‍ය තවත් අයකුට අසාත්මික නොවන බවයි. එහෙත් සමහර ආසාත්මිකතාවන් පවුලේ සාමාජිකයන් අතර බහුල විය හැකියි. තමන් විසින් ලබාගත් ආහාර දින පොතක සටහන් කිරීම මගින් සහ අසාත්මිකතාව ඇති වන්නේ කිනම් ආහාරයක් ගත් විට ද යන්න පිළිබඳ විමසිලිමත්ව සිටීමෙන් තමන්ට ආසාත්මිකතාව ඇති කරනු ලබන ආහාර හඳුනා ගැනීමට හැකියාවක් පවතී. ඔබට ආසාත්මිකතාව දරුණුවට බලපාන්නේ නම් ඒ සඳහා ගනු ලබන ඖෂධ ළඟ තබා ගැනීමෙන් සහ තමන් ආසාත්මිකතාවට ලක් වුවොත් කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැක්වෙන කාඩ් පතක් ළඟ තබා ගැනීමටත්, ඒ පිළිබඳව ඔබ ළඟින් ඇසුරු කරන ඥාති මිත්‍රාදීන්ට දන්වා තිබීමත් මෙහිදී වැදගත් බව මතකයේ තබා ගන්න.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
2178 Views
Comments