දරුවාට අමතර ආහාර - 02
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

දරුවාට අමතර ආහාර - 02

දරුවාට අමතර ආහාර - 02

කලින් ලිපියේදී අප ඔබට දරුවාට අමතර ආහාර ලබා දීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කළා. අද අපි ඔබට මාස 06 සම්පූර්ණ වූ පළමු දින සිට ආහාර වර්ග සකස් කර දරුවාට ලබා දෙන නිවැරදි ක්රමවේදය පිළිබඳව ඔබට පැහැදිලි කර දෙනවා. මෙහිදී දරුවාගේ පෝෂණ මට්ටම වර්ධනය කරමින් මනා ලෙස ශරීර බර පවත්වාගෙන යන්නට හැකියාව ලැබෙනවා.

 

මාස 06 වූ දින

 

අමතර ආහාරයක් ලෙස බත් අර්ධ ඝන තලපයක් ලෙස පොඩි කර ගන්න. බත් තම්බා සිදුරු කුඩා පෙනේරයකින් පොඩි කර ගැනීමටද හැකියි. එම දියරමය තලපයට මව්කිරි ස්වල්පයක් එක් කිරීමෙන් දරුවාට පුරුදු රසයක් ලබාදේ. එක් වේලකට තේ හැඳි 02 ක් හෝ 03 ක් ලබා දීම ප්රමාණවත්.

 

අමතර ආහාර ආරම්භ කළ 02 වන හා 03 වන දින

 

පෙරසේ දියාරු තලපය සකසා වේල් 01 ක් හෝ 02 ක් ලබා දීම. ඒ අතර මව්කිරි දීමත් නොකඩවාම කරගෙන යාම කළ යුතුයි.

 

දින 04 සිට 06 දක්වා

 

බත තැම්බීමේදී පරිප්පු වැනි ඇට වර්ගයක් දමා තම්බා දීම සිදු කළ යුතුයි. දින 02 ක් හෝ 03 ක් එක දිගටම දරුවාට ලබා දීමත් , වරකට තේ හැඳි 03 ක් හෝ 04 ක් බැගින් දවසට දෙවරක් ලබා දෙන්න. ඊට අමතරව දරුවාට තලපයක් කර ගත් ගස්ලබු, කෙසෙල් වැනි පළතුරු තේ හැන්දක්ද ලබා දෙන්න. මව්කිරි ලබා දීම දිගටම කරගෙන යන්න.

 

දින 07 සිට 09 දක්වා

 

බත් පිසීමේදී පරිප්පු, යකඩ අඩංගු සත්වමය ආහාරයන් එක් කර තැම්බීම කළ යුතුයි. එනම් , හාල්මැස්සන් කුඩු, මාළු, පීකුදු වැනි දෑ හොඳින් තම්බා දියාරු තලපයක් කර තෙල් ස්වල්පයක් හෝ බටර් ස්වල්පයක් යොදා තෙම්පරාදු කර ගන්න. උකු පොල් කිරි ස්වල්පයක්ද දමා තම්බා ගන්නටත් හැකියාව ඇත. මෙම තලපය කැවීමෙන් පසු මව්කිරි හා තලපයක් කරගත් පළතුරු දෙන්නටත් අමතක නොකරන්න.

 

දින 10 සිට 15 දක්වා

 

පෙර සේම බත්, පරිප්පු, මාළු, කුකුල් මස්, පීකුදු, හාල්මැස්සන් වැනි ආහාර හා වට්ටක්කා, කැරට්, බතල වැනි කහ පැහැති එළවළු ස්වල්පයක්ද දමා පොල් කිරි හා බටර් වලින් තෙම්පරාදු කර පොඩිකරගත් තලපය දිනකට දෙවරක් තේ හැඳි 05 ක් හෝ 06 ක් පමණ ආහාරයට ලබා දෙන්න. පළතුරු හා මව්කිරිත් පෙර සේම ලබා දෙන්න.

 

 

දින 16 සිට 30 දක්වා

 

පොඩි කළ බත්, කඩල, කව්පි, මුං ඇට, පරිප්පු, හාල්මැස්සන්, මාළු, කුකුල් මස්, පීකුදු, බිත්තර කහ මද, වට්ටක්කා, කැරට්, ගොටුකොළ, සාරණ, තම්පලා, මුකුනුවැන්න වැනි පලා වර්ගයක්ද එක් කරමින් තලපය සාදාගන්න. වේල් වලට විවිධ වර්ගයන් වෙනස් කරමින් සකස් කර ගන්න. පොල් කිරි ටිකක් යොදා බටර් හෝ තෙල් වලින් තෙම්පරාදු කරමින් සකස් කළ තලපය වරකට කෝප්ප 1/4 ක් පමණ දිනකට දෙවරක් හෝ තුන්වරක් ලබා දීමත් පැපොල්, අඹ, පේර, අලිගැටපේර වැනි පළතුරු පොඩි කර තේ හැන්දක් හෝ දෙකක් ලබා දීමත් සිදු කරන්න. මව්කිරි ලබා දෙන්න. උතුරුවා නිවාගත් වතුර ස්වල්පයක් දරුවාට ලබා දීම ආරම්භ කරන්න. දවසින් දවස දරුවාට විවිධ වූ රසයන් ලබා දීම තුළින් දරුවාගේ ආහාර රුචිකත්වය වර්ධනය කරගත හැකියි.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

581 Views

Comments

arrow-up