ස්නායුක සමායෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද
![ස්නායුක සමායෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද](https://media.aayubo.com/assets/content/ස්නායුක-සමායෝජනය-පිළිබඳව-ඔබ-දැනුවත්ද-ynwsN4123y.jpg)
ඔබ පාරෙ ගමන් කරමින් සිටින විට අත්පුඩි ගසන හඬක් ඔබට ඇසෙයි. ඔබ එම හඩ එන දෙස හැරී බලයි. ඔබ හැරී බැලුවේ ඇයි. අත්පුඩි හඩ නිසාය. ඔබ එයට දැක් වූ ප්‍රතිචාරය කුමක්ද. ඔබ කළේ හැරී බැලීමයි. එනම් ඔබේ ප්‍රතිචාරය වූයේ හැරී බැලීමයි. ප්‍රතිචාරයක් ඇති කරවීමට එම හඬ සමත් විය. ජීවීන් තුළ ප්‍රතිචාරයක් ඇති කරලීමට යම් විපර්යාසයක් සමත් වේ නම් එම පරිසර විපර්යාසය උත්තේජයක් ලෙස හඳුන්වයි. මෙහි උත්තේජය ශබ්දය වන අතර ප්‍රතිචාරය හැරී බැලීමයි. හැරී බැලීම සිදු වන්නේ වෙන්නේ ඔබගේ බෙල්ලෙ පේශි සංකෝචනය වීමෙනි. ශබ්ද උත්තේජය ප්‍රතිග්‍රහණය කළ සංවේද ඉන්ද්‍රිය කනයි. උත්තේජයට ප්‍රතිචාර දක්වන ශරීර කොටස් හඳුන්වන්නේ කාරක නමිනි. මෙහි කාරකය වූයේ බෙල්ලෙ පේශීන්. එම පේශි සංකෝචනයෙන් ශබ්ධය එන දිසාවට හැරී බැලීමේ ප්‍රතිචාරය සිදුවිය.
ප්‍රණීත ආහාරයක සුවඳ දැනුණ විට ඛේටය ස්‍රාවය වේ. මෙහි උත්තේජය ආහාරයේ සුවඳයි. එම උත්තේජය ප්‍රතිග්‍රහණය කළේ නාසයෙනි. ඊට ප්‍රතිචාර දැක්වූයේ ඛේට ග්‍රන්තියයි. ප්‍රතිචාරය ඛේටය ශ්‍රාවය වීමයි. උත්තේජ පිළිබඳ පණිවිඩ නියමිත කාරක වෙත සම්බන්ධීකරණය කිරීමේ ක්‍රමයක් තිබිය යුතුයි. ප්‍රතිග්‍රාහක සහ කාරක අතර ඇතිවන මෙම සම්බන්ධීකරණය සමායෝජනය නමින් හඳුන්වයි. සමායෝජනය සිදු වන ක්‍රම දෙකකි. ස්නායු පද්ධතිය සහභාගිත්වයෙන් සිදුවන සමායෝජනය ස්නායුක සමායෝජනය යි. ස්නායු පද්ධතියේ සහභාගිත්වයක් නොමැතිව සිදුවුන සමායෝජනය අස්නායුක සමායෝජනය යි. මෙය සිදු වන්නේ හෝමෝන නම් රසායනික ද්‍රව්‍යයන් ආධාරයෙනි. එබැවින් අස්නායුක සමායෝජනය හෝමෝන සමායෝජනය හෙවත් රසායනික සමායෝජනය නම් වේ. ස්නායුක සමායෝජනය දී ආවේග සම්ප්‍රේෂණය සිදුවන්නේ ස්නායු මගින් වන අතර අස්නායුක සමායෝජනය හෙවත් රසායනික සමායෝජනයෙදී ආවේග සම්ප්‍රේෂණය සිදු වන්නේ හෝමෝන මගිනි. ස්නායුක සමායෝජනය දී කෙලින්ම ප්‍රතිග්‍රාහක වල සිට කාරක වලට ආවේග සම්ප්‍රේෂණය වීම සිදු නොවේ. උත්තේජ පිළිබඳ පණිවිඩ හෙවත් ආවේග රතිග්‍රාහක වල සිට පළමුවෙන්ම යැවෙන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය වෙතටයි. මධ්‍ය ස්නායු පද්ධතිය යනු මොළය සහ සුෂුම්නාව යි.
ඇස කන නාසය සහ දිව යන සංවේද ඉන්ද්‍රිය වලින් ලබාගන්නා උත්තේජ පිළිබඳ ආවේග කෙලින්ම මොළය වෙත යැවේ. සමෙන් ලබාගන්නා උත්තේජ පිළිබඳ ආවේග මුලින්ම යැවෙන්නේ සුෂුම්නාව වෙතයි. සුෂුම්නාවේ සිට ඊළඟට මොළය වෙත යැවේ. සිතාමතා කරන ක්‍රියා මොළයෙන් පාලනය වන ඒවා වන අතර සිතීමක් නොමැතිව ඉබේම සිදුවන ක්‍රියා බොහොමයක් සුසුම්නාවෙන් පාලනය වේ. එසේම රත් වූ දෙයක අත ගැටුණු විට අත වහාම ඉවතට ගැනෙන්නේ අනිච්ඡානුගවයි. එය සුසුම්නාවෙන් පාලනය වන ක්‍රියාවකි. එහෙත් ඒ පිළිබඳ අතුරු ආවේග මොළයට යැවීම නිසා එවැන්නක් සිදු වූ බව අපි ඒ සමගම දැනගනිමු. වේදනාව දැනෙන්නේ මොළයට ආවේග යෑමේ ප්‍රතිඵලයක් ලෙසයි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
2070 Views
Comments