පරිස්සමත් සමගින් අපි නැවතත් නැගිටිමු...
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

පරිස්සමත් සමගින් අපි නැවතත් නැගිටිමු...

පරිස්සමත් සමගින් අපි නැවතත් නැගිටිමු...

ලොව පුරා පැතිරී යන කොරෝනා වෛරසය නිසාවෙන් අපි මොහොතකට නතර වෙලානේද. වෙනදාට දෛනික කාර්ය බහුල ජීවිතයක් ගත කළ බොහෝ දෙනෙක් අද සිය නිවෙස් වලටම කොටු වෙලා. කොරෝනා වෛරසය අපේ රටටද පැමිණ මාස 3 කට ආසන්නයි. රෝගය පැතිරීම ආරම්භයත් සමගම පොලිස් ඇඳිරි නීතිය පනවා ජනතාව රැස් වීම අඩාල කරන්නට මෙරට පාලන තන්ත්‍රය, සෞඛ්‍ය සේවා සහ ආරක්ෂක අංශ සමගින් එක්වී කටයුතු කළේය. මක් නිසාද මෙම රෝගය පැතිරීම වැළැක්වීමට තිබෙන හොඳම සහ එකම ප්‍රතිකර්මය වන්නේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම නිසාවෙනි. නමුත් මෙහිදී අප සෑම දෙනෙක්ම තේරුම් ගත යුතු කරුණ වන්නේ කිසියම් රටකට මාස ගණනාවක් ඇඳිරි නීතිය පවත්වාගනිමින් හුදෙකලාව ජීවත්වීමට නොහැකි බවයි. එමගින් රටේ ආර්ථිකයට කොපමණ බලපෑම් එල්ල වනවාද යන්න මොහොතකට හෝ සිතීම ඉතාමත් වැදගත්. එම නිසා තවමත් රෝගය පැතිරීමේ අවදානමක් පැවතුනද යම් යම් සීමාවන්ට යටත් වෙමින් රටේ ආර්ථිකය නැවත පණ ගැන්වීමේ ක්‍රියාවලිය ක්‍රමක්‍රමයෙන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව කටයුතු දියත් කර තිබේ. ඇතැම් පළාත්වල ඇඳිරි නීතිය තවදුරටත් පවතින අතරවාරයේදී මුළු රටේම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාලන කටයුතු යථා තත්ත්වයට ක්‍රමක්‍රමයෙන් පත් කිරීමට පටන්ගෙන ඇත. එමගින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටත් ඇනහිට තිබෙන ආර්ථීකය ක්‍රමයෙන් නැවත ගොඩ නැංවීමත් අපේක්ෂා කරයි.

 

මෙලෙස රට විවෘත වීමත් සමගම විශාල ලෙස වගකීමක් පැවරෙන්නේ අපේ රටේ ජනතාව වෙතයි. හැකි සෑම විටම සෑම අතින්ම තම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම ජනතාව විසින් සිදුකල යුතුයි. මෙතෙක් කල් තමා වයිරසයෙන් වැළකී සිටියාක් මෙන් ඉදිරියටද එලෙසින්ම පැවතීමට අවශ්‍ය ස්වයං ආරක්ෂාව ජනතාව විසින් සපයා ගත යුතුයි. මෙම වෛරස තත්ත්වයෙන් විශේෂයෙන්ම පරිස්සම් විය යුත්තේ මැදිවියේ පිරිසයි. ඒ සමඟම විවිධ බෝ නොවන රෝගවලින් පෙළෙන අයටද වැඩි අවදානමක් පවතී. එවැනි අය රාජකාරි සඳහා පිටත්ව යාමේදී හැකි පමණ සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු අතර රාජකාරි සඳහා යන සෑම විටම තම නිවසෙන් කෑම සහ වතුර බෝතලයක් රැගෙන යාම අනිවාර්යෙන්ම කළ යුතුයි. එසේම රාජකාරි සදහා යන පිරිමි පාර්ශ්වය හැකි පමණ මත්පැන් සහ දුම්පානය තාවකාලිකව හෝ නතර කළ යුතුයි. ඒ මෙම වෛරස රෝගය එවැනි කෙනෙකුට ආසාදනය වුවහොත් සුව කිරීම අපහසු වීමත් ඒ අයට බරපතළ වීමේ වැඩි අවදානමක් පවතින නිසාත් ය. සෞඛ්‍ය අංශ වලට පමණක් මේ සඳහා වගකීම පවරන්නේ නැතිව තමන් හැකි පමණ රෝගයෙන් වැළකීමට සිතට ගත යුතුයි. රාජකාරි සඳහා යන සෑම කෙනෙක්ම මුඛ ආවරණයක් පැළඳීම අනිවාර්ය වන අතර අය රෙද්දකින් මසාගත් එකක් නොව ශල්‍ය මුඛ ආවරණයක් N95 නම් වඩාත් සුදුසුයි. එවැන්නක් ගැනීමට අපහසු නම් පිළිගත් මුඛ ආවරණයක් හෝ පැළඳීම ඔබ විසින් කළ යුතුයි.

 

තවද රැකියා සඳහා යන පුද්ගලයන් විසින් රැකියා ස්ථානයට යාම සහ නැවත සිය නිවසට පැමිණීම පමණක් සිදුකළ යුතු අතර ඒ අතරවාරයේදී අනෙකුත් ගමන් බිමන් යාමෙන් වැළකිය යුතුයි. රැකියාව සදහා යාමේදී බස් රථයේ හෝ දුම්රියේ ගමන් කරන විට හැකි පමණ එක් පැත්තක් පමණක් බලා ගෙන යාමටද හුරු වීම ඉතාමත් වැදගත්. රැකියා ස්ථානයේ මේස පුටු පවා මුහුණට මුහුණ තබා රාජකාරි කටයුතු සඳහා යෙදවීම නොකළ යුතු අතර එසේ තිබේනම් ඒවා මීටරයක පමණ පරතරය තබා එක් එක් පුද්ගලයන් වෙන්කර තැබීම සෑම ආයතන ප්‍රධානියෙකුම විශේෂයෙන් සිදුකල යුතුයි. එහිදී වායුසමන යන්ත්‍ර හැකි පමණ අඩුවෙන් පාවිච්චි කළ යුතු අතර ජනෙල් කවුළු විවෘත කර පිටත වාතාශ්‍රය ලැබෙන ලෙස හැකි පමණ රාජකාරි ස්ථානය පවත්වා ගැනීම මෙම වෛරසය ආසාදනය වීම අවම කර ගැනීමට ගත හැකි හොඳ පියවරක්. රාජකාරි ස්ථානයේදී නිතරම සබන් යොදමින් අත් සේදීමද කළ යුතු අතර අත් සේදීමට පවතින ස්ථාන ගණනද වැඩි කළ යුතුයි. සෞඛ්‍ය ආරක්ෂක අත් සෝදන දියරයක් තබාගනිමින් නිතර දෑත් පිරිසිදු කිරීම කළ යුතු අතර එසේ දෑත් පිරිසිදු කළද පැය දෙකකට පමණ වරක්වත් දෑත් සබන් ගා හොඳින් ඇඟිලි කරු අතර පවා පිරිසිදු වන ලෙසට සේදීම කළ යුතුයි. දෑත් පිස දැමූ හෝ නාසය පිස දැමූ paper සර්වියට් සෑම විටම පියන වසන කුණු බාල්දියකට දැමීමටද අමතක නොකරන්න. මේ ආකාරයට හැකි පමණ තම සෞඛ්‍යය පිළිබඳව අවධානය ලබා දීමට කටයුතු කළහොත් මෙම රෝගය පැතිරීම බොහෝ දුරට අවම කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. ලාංකිකයන් වශයෙන් අප විසින් මේ මොහොතේ දී සිදු කළ යුත්තේ කොරොනා වලට බියෙන් සැඟවීම නොව corona සමඟින් ජීවත් වීමට හුරු වීමයි.

 

 

 

 

 

 

 

 

 

By : Sahini Sooriyaarachchi

Photo Source : Internet

views

523 Views

Comments

arrow-up