මුඛ ආවරණ යටින් එන මුඛයේ දුර්ගන්ධයට කළ යුත්තේ කුමක්ද ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
03

මුඛ ආවරණ යටින් එන මුඛයේ දුර්ගන්ධයට කළ යුත්තේ කුමක්ද ?

මුඛ ආවරණ යටින් එන මුඛයේ දුර්ගන්ධයට කළ යුත්තේ කුමක්ද ?

මුළු ලොවම මේ වන විට ඉතා අනපේක්ෂිත ලෙස කොරෝනා වසංගතයට මුහුණ දෙනවා. ශුභ ආරංචිය නම්, ඔබ මුහුණු ආවරණයක් පැළදීමෙන් ඔබට හා අනෙක් අයටත් නිවසින් පිටව යන විටදී යම් මට්ටමකට ආරක්ෂිත වීමට උපකාරී වීමයි.

ඒත් මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙසින් මුඛයේ දුර්ගන්ධයෙන් බොහෝ දෙනෙකු පීඩාවට පත් වීම සීඝ්‍රයෙන් වැඩි වීමයි. වර්තමාන තත්වය යටතේ අපට මුඛ ආවරණ නොමැතිව යාම කළ නොහැක්කක් සේම දිනයේ වැඩි වේලාවක් අප මෙම මුඛ ආවරණ පැළඳ සිටීම නිසාවෙන් බොහෝ දෙනාට මේ ගැටළු උද්ගත වී ඇත.

මුඛයේ දුර්ගන්ධය ඇති වීමට හේතු මොනවාද ? මුඛයේ කෙළ නිශ්පාදනය අඩු වීම , මුඛයේ වියළි බව , දන්ත සනීපාරක්ෂාව පිළිබඳව නොසැලකීම , අධික සීනි හා ආම්ලික ආහාර පාන පරිභෝජනය යන හේතූන් ප්‍රධානතම හේතූන් ලෙස සැලකෙනවා.

මෙම හේතු නිසාවෙන් මුඛයේ ක්ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා වර්ග ඉතා භායානක අනුපාතයකින් සීඝ්‍රයෙන් මුඛය තුළ වර්ධනය වනවා. මේ තුළින් මුඛයේ දුර්ගන්ධය වැඩි වනවා. දිනපතා අප දත් මැදීමෙන් හා ජලයෙන් හොඳින් මුඛය සේදීම තුළින් මෙම ක්ෂුද්‍ර ජීවී හා බැක්ටීරියාවන් සාමාන්‍යයෙන් යම් මට්ටමකට අඩු වෙනවා.

නමුත් මුඛ ආවරණ පැළඳ සිටීම නිසාවෙන් නිතර නිතර මුඛය සේදීම , ජලය පානය කිරීම වැනි දේ මඟ හැරී යනවා. ඒ අතරම දවසෙ පුරාවටම මුඛ ආවරණ පැළඳ සිටිනා ඔබට මෙවැනි ගැටළු උද්ගත වීම වැළැක්විය නොහැකියි.

ඒත් එයින් මිදීමට හැකියාවක් නැත්ද ? තිබෙනවා. මෙන්න මෙම ක්‍රම කිහිපය තුළින් මුඛ දුර්ගන්ධය වළක්වා ගැනීමට උපකාරී වෙයි.


 

 

නිතර නිතර ජලය පානය කිරීම.

ඕනෑම ලෙඩ රෝගයකට ජලය පානය කිරීම තරම් හොඳ දෙයක් නැති තරම්. එයින් ඔබේ මුළු ශරීරයම පිරිසිදු වන අතර අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමටත් උපකාරී වනවා. දිනපතා ජලය වීදුරු 06 - 08 ත් අතර පානය කරන්න. එමගින් ඔබගේ වියළි බව නැති වී යාවී. ඔබ දිනපතා ඖෂධ ගන්නා අයෙකු නම් මුඛය වියළී යනවා නොඅනුමානයි. මෙහිදී ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ දන්ත වෛද්‍යවරයා හමුවී සුදුසු වූ ප්‍රතිකර්මයක් ඔහුගෙන් ලබා ගත යුතුයි.

 

දත් වල ඇති ගැටළුකාරී තත්වයන්

දිරාපත් වූ දත් , වීදුරු මස් දියවීම හෝ ලේ ගැලීම , දත්වල ඇති කුහර හා මැලියම් වැනි දෑ හේතුවෙන්ද මුඛයේ දුර්ගන්ධය ඇති වනවා. එබැවින් ඔබගේ දන්ත වෛද්‍යවරයා හමුවී එයට නිසි ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි.


 

සීනි හා ආම්ලික ආහාර අවම කිරීම

නිවසේ සිටින ඔබ මේ දිනවල ආහාර පාන වැඩිපුර පරිභෝජනයට ලක් කරනවා. වැඩිපුර තේ , කෝපි , පළතුරු බීම , සිසිල් බීම වැනි අධික සීනි හා ආම්ලික ආහාර වර්ගත් වැඩිපුර පරිභෝජනය කරනවා. එයින් ඔබගේ දත්වල සෞඛ්‍යයට හානි පමුණුවමින් මුඛයෙන් දුර්ගන්ධය මතු වනවා. එනිසා ඔබත් වැඩිපුර සීනි හා ආම්ලික ආහාර වර්ග ගන්නා අයෙකු නම් එය නතර කර සාමාන්‍ය මට්ටමකින් ගැනීමට වග බලා ගත යුතුයි.

 

 

දුම්බීම අත්හැරීම

දුම්බීම පිළිකා ඇති කරයි.මෙය අපි හොඳින් දන්නා කරුණක්. එසේම දුම්බීම තුළින් කෙනෙකුගේ මුළු ශරීරයටම හානි පමුණුවනවා. මුඛ දුර්ගන්ධයටත් සෘජුවම බලපාන සාධකයක් ලෙස දුම්බීම හදුනාගෙන තිබෙනවා. දුම්බීම තුළින් පිළිකා කාරක වර්ධනය , වීදුරු මස් වලට හානි වීම , දත් දුර්වර්ණ වීම මුඛ දුර්ගන්ධයට ප්‍රධානවම බලපානවා. නිවසේ සිටින ඔබ වැඩි කාලයක් දුම්බීම සඳහා නොව එය අත්හැර ගැනීමට ක්‍රියා කරන කාලයක් කර ගන්න.

කොරෝනා වසංගත තත්වය හමුවේ ඇතිවන අනෙකුත් ගැටළු තත්වයන් හමුවේ දිනපතා හොඳ දන්ත සෞඛ්‍ය පුරුදු වලට හුරුවීමෙන් ඔබට මුඛ දුර්ගන්ධය නැති කරගැනීමට හැකි වනු ඇත. තවදුරටත් ඔබගේ මුඛයේ දුර්ගන්ධය පවතී නම් අනිවාර්යයෙන්ම දන්ත වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගත යුතුයි.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

735 Views

Comments

arrow-up