ඔබත් හවුල්කරුවෙක් නම් අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව දැනුවත්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

ඔබත් හවුල්කරුවෙක් නම් අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව දැනුවත්ද

ඔබත් හවුල්කරුවෙක් නම් අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව දැනුවත්ද

පාර්ශවකරුවන් අතර සම්බන්ධතාවය මෙන්ම හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් අතර ද එකිනෙකාට බලපාන සේ යුතුකම් හා අයිතිවාසිකම් ඇත. හවුල් ව්‍යාපාර ගිවිසුමට යටත්ව හවුල්කරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් හොඳින් හඳුනාගෙන තිබීම හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී මෙන්ම පවත්වාගෙන යෑමේදීද ඉතාමත් වැදගත්.


සියලු හවුල්කරුවන් හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය සහ ලාභ අලාභ සමසේ බෙදා ගත යුතු අතර ලාභය නිශ්චය කිරීමට ප්‍රථමයෙන් ප්‍රාග්ධනය සහ පොළියක් ලබා ගැනීමට කිසිම හවුල්කරුවෙකුට අයිතියක් නැත. හවුල් ව්‍යාපාර ගිවිසුමේ විශේෂයෙන් සඳහන් කර නැත්නම් මිස හවුල්කාර ව්‍යාපාරයේ කටයුතු වල නිරත වීම වෙනුවෙන් හවුල්කරුවන්ට පාරිශ්‍රමිකයක් ලබා ගැනීමට අයිතියක් නැත. තවද සෑම හවුල්කරුවෙකුටම හවුල් ව්‍යාපාරය කළමණාකරනයට සහභාගි වීමට අයිතියක් තිබේ. නව හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාරයට හඳුන්වාදීමේදී සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත තිබීම ද අත්‍යාවශ්‍ය කාරණයකි. සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු පිළිබඳව හවුල්කරුවන්ගේ වැඩි කැමැත්තෙන් තීරණ ගතහැකි වුවත් සියලුම හවුල්කරුවන්ගේ ඒකමතික තීරණයක් නොමැතිව හවුල් ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කළ නොහැක. එමෙන්ම කිසියම් හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාරයෙන් ඉවත් කළ හැක්කේ අනෙක් සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත ඇතිව පමණි. සමාගමේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවල දී හවුල් කරුවෙකු විසින් දරන ලද වියදම් හෝ වගකීම් ප්‍රතිපූර්ණය කරවා ගැනීමට හවුල්කරුවෙකුට අයිතියක් තිබේ. එමෙන්ම හවුල්කරුවෙකු ප්‍රාග්ධනයට වැඩිමනත් මුදලක් අත්තිකාරමක් ලෙස හවුල් ව්‍යාපාරයට ලබාදී ඇත්නම් ඒ සඳහා පොලියක් ලබා ගැනීමටද ඔහුට අයිතියක් ඇත. මේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයේ තබා ගත යුතු හවුල් ව්‍යාපාරයේ පොත්පත් පරීක්ෂාකිරීමට සෑම හවුල්කරුවෙකු ට ම අයිතියක් ඇත. හවුල් ව්‍යාපාරයට බලපානු ලබන කරුණු පිළිබඳව නිවැරදි ගිණුම් හා සම්පූර්ණ තොරතුරු සෑම හවුල්කරුවෙකු ට ම ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම අනෙකුත් හවුල්කරුවන්ගේ කැමැත්ත නොමැතිව හවුල් ව්‍යාපාරයට අදාලව කරනු ලැබූ ගනුදෙනුවකින් යම් ප්‍රතිලාභයක් ලැබූ සෑම හවුල්කරුවෙක්ම ඒ පිළිබඳව ව්‍යාපාරයට හේතු දැක්විය යුතුය. සෑම හවුල්කරුවෙක්ම හවුල් ව්‍යාපාරයේ ගනුදෙනුවක් මගින් යම් රහස්ය ලාභයක් ලබයි නම් එය හවුල් ව්‍යාපාරයට අනාවරණය කළ යුතු අතර ඒ ලාභය පිළිබඳව හවුල් ව්‍යාපාරයට හේතු දැක්වීමක් ද අනිවාර්යයෙන්ම සිදුකළ යුතුවේ. එමෙන්ම ව්‍යාපාරික ආයතනය සමග තරගකාරී වන වෙනත් ව්‍යාපාර පවත්වා නොගැනීමද මෙහිදී හවුල්කරුවන් විසින් සිදුකළ යුතුයි.

 

 


මෙවැනි අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව දැනුවත් වෙමින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම්, දීර්ඝකාලීනව පවත්වා ගත හැකි හවුල් ව්‍යාපාරයක හවුල් කරුවකු වීමට ඔබටත් හැකියාවක් ලැබෙනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi  

Photo Source: Internet

views

764 Views

Comments

arrow-up