කාර්බහුල ඔබට නිවස හැඩට තබා ගන්න සරල සැලැස්මක්

වර්තමානයේ බොහෝ කාන්තාවන් රැකියාවේ යෙදෙනවා. මේ කාර්යබහුලත්වය නිසාම නිවස පිරිසිදුව පිළිවෙලට තබාගන්න ටිකක් අපහසු වෙලා තියෙනවා. නමුත් මේ සඳහා නිසි සැලැස්මක් යොදාගත් විට එය ඉතාම පහසු කාර්යයක් වෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.
රැකියාවට යන්නියක් මුලින්ම අවධානය යොමු කළ යුතු වන්නේ තමන්ගේ නිවසේ ඇති අනවශ්‍ය දේවල් ඉවත් කිරීම කෙරෙහි. බොහෝ අයට ගෙදර අලංකාර කරගැනීම අසීරු වෙන්නේ ඒ සඳහා වැඩි කාලයක් දැරීමට සිදුවන්නේ අනවශ්‍ය දේවල් නිවසේ එක්රැස්වී තිබෙන නිසයි. රැකියාවක නියුතු කාන්තාවක් අලුතින් නිවසක් තනන්නේ නම් හෝ පදිංචියට යන්නේ නම් මූලික වශයෙන්ම වශයෙන්ම සිතිය යුත්තේ නිවසේ ආලින්දය විසිත්ත කාමරය නිදන කාමරයේ මුළුතැන්ගේ ආදී වශයෙන් නිවෙසේ සියලුම තැන්වල අවම භාන්ඩ ප්‍රමාණයක් රැඳවීම කෙරෙහි.
පුටු සෙට් මේස විදුලි පංකා ආදියෙන් සාලය පිරී ඇත්නම් ඒවා අස් පස් කර හවස අතුපතු ගෑමේදීත් වැඩි වෙහෙසක් දැරීමට සිදු වෙනවා. හැමවිටම සාලයක් සකස් කරගත යුත්තේ හය හත් දෙනකුට පමණ ඉඳගැනීමට සෑහෙන පරිදි. නිවෙසේ සාලයෙහි භාණ්ඩ අඩුවීමෙන් එහි පාලු ස්වභාවයක් අලංකාර අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. වර්තමානයේ සාලයක් හැඩගන්වන්නේ ඉතා සරල භාණ්ඩ වලින්.
මූලික වශයෙන්ම රැකියාවකට යන්නියක් සාමාන්‍ය ගෘහණියක් ලෙස හිමිදිරියේ නිවස ඇමදීමට ඉඩ කඩක් නැහැ. ඒ සඳහා රාත්‍රී කාලය තෝරාගත යුතුයි. රාත්‍රියේ දී නිවසට පැමිණීමෙන් පසුව පැය භාගයක් පමණ කාලයක් සැහැල්ලුවෙන් හින්ද නිවසේ කොටසක් ඇමදීම සිදු කළ හැකියි. එහෙමත් නැත්තම් නිවසේ සිටින්නෙකුට උදෑසන නිවස අතුපතු ගා අස් කිරීමටද පවරන්න පුළුවන්. විශේෂයෙන්ම රැකියාවට යන්නියක් හැමවිටම දරුවන්ට ගේ දොර අස්පස් කිරීමේ වගකීම් අනිවාර්යෙන්ම පැවරිය යුතුයි. පිරිමි දරුවන්ට පවා ළමා වියේ සිටම අවම වශයෙන් තම කාමරය පිළිවෙලට තබා ගැනීමට පුරුදු කළ හොත් එය එම දරුවන්ට කදිම අනාගත පුහුණුවක් වේවි. සාමාන්‍යයෙන් නිවසක් දිනපතාම පාහේ දීම ඇමදීම අවශ්‍ය වෙන්නේ ගේ ඇතුලේ දූවිලි හා වැලි තිබීමෙන්. එසේ සිදුවන්නේ පාවහන් පැළඳ ගේ ඇතුලට පැමිණීමෙන්. නිවසේ සිටින සැම නිවස ඉදිරියේ පාවහන් ගලවා දමා ගේ ඇතුලට ඒමට පුරුදු වුවහොත් පිරිස අවම නම් දිනපතා ඇදීමක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එමෙන්ම ඔබ කළ එවැනි පුරුදු තිබෙන විට ආගන්තුකයන් පවා පාවහන් ගලවා ඇතුලු වීමට උත්සාහ කරනවා.
මාසයකට වරක් පවුලේ හැමෝම එක්ක නිවස අස්පස් කිරීම හා අලංකාර කිරීමට ශ්‍රමදානයක් දැමීම වටිනවා. ඒ සඳහා යම් නිශ්චිත දිනයක් නිවේදනය කර ඇත්නම් සැමියා ඇතුළු හැමෝම ඊට සූදානම් වීමක් කරනවා. එදිනට ඔබ ගේ ඇතුල සේම මිදුල ද අලංකාර කර ආලින්දය වෙනස් කිරීමෙන් අලුත් පෙනුමක් ලබාගත හැකි වෙනවා. එසේම මාසයකට වරක් අංගසම්පූර්ණ පවිත්‍ර කිරීමක් කළ විටදී ඒ සම්බන්ධයෙන් දිනපතා ඔබට සිදු කරන්න ඇත්තේ සුළු රාජකාරියක් විතරයි. එමෙන්ම ශ්‍රමදානයට ඔබ වෙන් කළ දිනය පවුලේ සැමට විනෝදශීලී අත්දැකීමක් වීම අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් රසවත් කෑම පෙළක් ඔවුන්ට පිරිනැමීම හෝ පිටතට ගොස් විනෝද වී ආහාර ගැනීමට අවස්ථාවක් සලසාගන්න පුළුවන්.
by Dilki Shamani
Photo Source: Internet
950 Views
Comments