ඔබේ සෞඛය තත්වය දැන ගන්න මේ පරීක්ෂණ කරන්න

ලෝකයේ දියුණු රටවල තරුණ වියෙන් මැදි වියට පා තබන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම වාර්ෂිකව නිරෝගී බව හඳුනා ගැනීමේ මූලික වාර්තා සිදුකිරීමට නියම කරයි. මෙය රැකියා කරන අය විශේෂයෙන් කළ යුතුවේ. ඒ හැර බොහෝ දෙනා එවැනි පරීක්ෂණ කර තම නිරෝගී බව තහවුරු කරගනී. එහෙත් අපේ රටේ එවැනි දෑ කරන්නේ ඉතා අඩුවෙනි. වයස අවුරුදු 35-40 වූ විට තම නිරෝගී බව හඳුනාගැනීමට පරීක්ෂණ සඳහා යොමු විය යුතු යැයි වැඩිදෙනා නොසිතති. එම නිසාම වැඩිවියට පත්වීමට පෙර පටන් බෝනොවන රෝග වලට ගොදුරුව ජීවිතයට අනතුරු සිදුවන පිරිස් දිනෙන් දින අසන්නට ලැබේ.
අවශ්‍ය පරීක්ෂණ මොනවාද ?
යම් පුද්ගලයෙකුට බෝ නොවන රෝගයකට ගොදුරුව සිටින්නේ දැයි හඳුනා ගැනීමට අවශ්‍ය සරල පරීක්ෂණ රුධිරය හා මුත්‍ර මගින් කරගත හැකිය. රුධිර පරීක්ෂණ මගින් දියවැඩියාව, අධි කොලස්ටරෝල් තත්ත්වය, වකුගඩුවල නිරෝගී බව, අක්මාවේ තත්ත්වය හඳුනා ගත හැකිය.
සීනී බලන මුල්ම පරීක්ෂණය FBS
කොලෙස්ටරෝල් තත්වය හඳුනා ගැනීම සඳහා (Lipid profile) පරීක්ෂණය
වකුගඩු තත්ත්වය හඳුනා ගැනීමට (Blood urea -BU) සහ සීරම් ක්‍රියැටිනීන් ( Serom creatinine)
අක්මාවේ තත්ත්වය හඳුනා ගැනීමට (LFT )
පුද්ගලයා කුමන හෝ රෝගයකින් පෙළෙන්නේ යැයි සරලව හඳුනා ගැනීමට, සම්පූර්ණ රුධිර පරීක්ෂණය (FBC)
සාමාන්‍ය නිරෝගී බව තහවුරු කරගැනීම සඳහා සම්පූර්ණ මුත්‍ර පරීක්ෂණය (UFR)
ඉහත සඳහන් පරීක්ෂණ කර ගැනීම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය හඳුනා ගැනීම සඳහා ඉතාම වැදගත් වේ.
දියවැඩියාව පරීක්ෂාව
යම් පුද්ගලයෙක් පැය 10 ක් නිරාහාරව සිට FBC පරීක්ෂණය කර ගැනීමෙන් දියවැඩියා රෝගයට ගොදුරු වී සිටි ද එහි කුමන අවස්ථාවේ පසුවෙන්නේ ද යන්න හඳුනා ගත හැකිය. ඒ අනුව එම රෝගියා මුල් අවස්ථාවේ පසුවන්නේ නම් ඖෂධ ප්‍රතිකාර වලට යොමු නොවී රෝගය පාලනය කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා නිරෝගී බව ආරක්ෂා කර ගත හැකිය.
කොලෙස්ටරෝල් පරීක්ෂාව
පුද්ගලයා කොලෙස්ටරෝල් පරික්ෂා කිරීමේදී එය පමණක් පරීක්ෂා නොකර (Lipid profile) පරීක්ෂාව කර ගැනීම ඉතාම වැදගත්ය. එවිට හෘදයේ යම් හානිකර දෑ තිබේනම් කොලෙස්ටරෝල් පමණක් නොව එවැනි තත්ත්වයන් ද හඳුනාගත හැකිය. පැය 10ක් 12ක් නිරාහාරව සිට මෙම පරීක්ෂාව සහ FBC පරීක්ෂාව කර ගැනීමට පුළුවන. ඒ පරීක්ෂණ දෙකම සඳහා නිරාහාරව පැය දහයක් දොළහක් සිටීම අවශ්‍ය නිසාය.
වකුගඩු වල ගැටලු නැද්ද?
දියවැඩියා රෝගය මෙන්ම අධි රුධිර පීඩනය නොදැන සිටීමෙන් කෙනකුගේ වකුගඩු වලට හානි සිදුවිය හැකිය. එම නිසා වයස අවුරුදු 35-40 දී වකුගඩුවල තත්ත්වය හඳුනා ගැනීමට මෙම පරීක්ෂණය ඉතාම වැදගත්ය. පුද්ගලයාට දියවැඩියාව තිබේද එයින් වකුගඩුවලට බලපෑමක් වෙලා ද යන්න මෙම පරීක්ෂාවෙන් දැනගත හැකිය.
අක්මා ප්‍රදාහ තිබෙනවාද ?
අක්මා ප්‍රදාහය හඳුනාගැනීම සඳහා LFT පරීක්ෂාව ඉතාම වැදගත්ය. අක්මාව නොදැන රෝගී විය හැකි ඉන්ද්‍රියකි. බරපතළ ලෙස රෝගී වන තෙක් රෝග ලක්ෂණ පහළ නොවේ. එම නිසාම මෙම පරීක්ෂණය කර නිරෝගී බව තහවුරු කරගැනීම ඉතාම වැදගත්ය.
සම්පූර්ණ මුත්‍රා පරීක්ෂාව
සම්පූර්ණ මුත්‍ර පරීක්ෂාව හෙවත් (UFR) පරීක්ෂාව කර ගැනීමෙන් කෙනකුගේ මුත්‍රා ආශ්‍රිත රෝග බොහොමයක් හඳුනාගත හැකිය. ඉහත පරීක්ෂණ මෙන්ම මෙම පරීක්ෂණයත් වසරේ මුල් කාලයේම කර ගැනීමෙන් මුත්‍රා ගල් මුත්‍රා ආසාදන වකුගඩුවල ගැටළු දැනගත හැකිය. මේ නිසා රුධිර පරීක්ෂණ මෙන්ම සම්පූර්ණ මුත්‍රා පරීක්ෂාවක් කර ගැනීමත් ඉතාම වැදගත් වේ.
ESR පරීක්ෂණයක් අවශ්‍ය ද ?
ඉහත සඳහන් කළේ කෙනකු වසරේ මුල්ම කාලයේදී යම් රෝගයකට ගොදුරු ව තිබේ ද යන්න හඳුනාගත හැකි මූලික පරීක්ෂණ කිහිපයකි. සමහරු ඒ අතර ESR පරීක්ෂණයත් අවශ්‍ය යැයි සිතති. මෙවැනි පරීක්ෂාකරන්නේ යම් රෝගයක් තිබෙන විට එය තහවුරු කරගැනීම සඳහාය. ESR පරීක්ෂණය කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණි.
by Gihan Hapuhetti
Photo Source: Internet
2798 Views
Comments