සිරුරේ අනවශ්‍ය කැල්සියම් දියකර හරින ආයුර්වේද ප්‍රතිකාර

කැල්සියම් ශරීරයේ අස්ථි වර්ධනයට පෝෂණයට අත්‍යවශ්‍යම පදාර්ථයක්. නමුත් අවුරුදු 40 ඉක්මවා යන විට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය සිරුරට උරා ගෙන වැඩිපුර ප්‍රමාණය සිරුරේ තැනින් තැන තැන්පත් වීමට පටන් ගන්නා බව ඔබ දන්නවාද. ඒවා හන්දි වගේම ඇට වෙන්න පුළුවන්. සරලව කිව්වොත් කැල්සියම් තැන්පත් වීම නිසා ස්නායු මාර්ග අවහිර වන අතර එවිට සංවේදන ගමන් කිරීම අපහසු වේ. මෙහිදී ඔබ විසින් කැල්සියම් එකතුවී ඇති ස්ථාන නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගත යුතුයි. මෙහිදී සිරුරේ තැන්පත් වී ඇති අනවශ්‍ය කැල්සියම් ඉවත් කළ යුතු අතර බොහෝ විට එය වෛද්‍ය විද්‍යාවේ දී සිදුකරනු ලබන්නේ සැත්කම් ආකාරයටයි. නමුත් මෙසේ කපා කොටා තුවාල කර ගන්නේ නැතුව ඉතාමත් ඉක්මනින් වේදනාවකින් තොරව අනවශ්‍ය කැල්සියම් දියකර හරින බෙහෙත් වර්ග අපගේ පාරම්පරික ආයුර්වේද ක්‍රම වල අන්තර්ගත වී තිබේ.
නික සහ බෙහෙත් එඬරු කොළ වල ඇති සංයෝග කැල්සියම් තට්ටු දිය කිරීම සිදු කරයි. ඊට අමතරව අරත්ත අල, රසකිද, පාවට්ටා, කොබෝනිල, කොහොඹ වැනි ඖෂධ යොදා සාදන කසාය වර්ග, කුඩුකර සාදන චූර්ණ සහ කල්ක බීමට ගැනීමෙන්ද, අඹරා සාදන ලද පත්තු සහ තෙල් වර්ග ආලේපය මෙන්ම බෙහෙත් කොළ කොටා පොට්ටනි සාදා තැවීම් මගින්ද කැල්සියම් දියකර හරින්නට පුළුවන්. මෙහිදී නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මෙන්ම නිවැරදි ඉරියව් පවත්වා ගැනීමත් ඉතාමත් අත්‍යවශ්‍යයි. එමෙන්ම එදිනෙදා ඔබ ගන්නා ආහාර ගැනත් සැලකිලිමත් විය යුතුයි. කංකුං මුකුණුවැන්න රාබු හාල්මැස්සන් ගෝවා ගස්ලබු දොඩම් වගේ කැල්සියම් අඩංගු ආහාර වර්ග පාලනයකින් යුතුව එදිනෙදා ආහාර වේලට එකතු කර ගත යුතුයි. ගෘහණියන් වන ඔබ කැල්සියම් අඩංගු ආහාර වර්ග දෙකක් එකට පිළියෙල නොකිරීමට සැලකිලිමත් වෙන්න.
විලුඹේ කැල්සියම් එකතුවීම නිසා කකුල බිම තැබීම අපහසු වන අතර වේදනාවක් ගෙන දේ. තවද උරහිසේ කැල්සියම් එකතු වීම නිසා අත උස්සන්න වගේම වැඩක් පලක් කර ගැනීම අමාරු වෙයි. උරහිසේ ඇතිවන මෙම තත්ත්වය අවබාහුක නමින් හඳුන්වයි. අතේ මැණික් කටුවේ කැල්සියම් එකතු වීමෙන් අත මිට මෙළවීමට අපහසු වන අතර ඇඟිලි හිරිවැටීම ද සිදුවේ. මෙම තත්ත්වය කාන්තාවන්ට ඉතාමත් වැඩි අතර රෙදි සේදීම පොල් මිරිකීම කොණ්ඩය බැඳීම වැනි සුළු වැඩක් වත් කර ගැනීමට නොහැකි වී යයි. දනහිස් වල කැල්සියම් තැන්පත් වූ විට සන්ධි වේදනාවක් නොදැනෙන අතර නැමීම් දිග හැරීම් සිදුකිරීම අපහසු වේ. මෙහිදී ඔබ විසින් විශේෂයෙන්ම අවධාරණය කරගත යුත්තේ ඖෂධ පමණක් නොව ඔබගේ එදිනෙදා දින චර්යාව ගැනද දෙවරක් සිතිය යුතු බවයි. එවිට මෙවැනි තත්ත්ව වලට ඔබට මුහුණ පෑමට සිදු නොවනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
9984 Views
Comments