දරුවන් යහමගට ගැනීමේ හොඳම ආයුධය අම්මාගේ ආදරය

මගේ දුව පුතා කියන දෙයක් අහන්නෙම නෑ හරිම හිතුවක්කාරයි, මෙවැනි කතා-බස් ඔබ නිරන්තරයෙන්ම අසා ඇති. ඔබත් මවක් නම් ඔබේ දරුවන්ටද අනේකවාරයක් මෙවැනි දේ කියා තිබෙන්නට පුළුවනි. නමුත් මීට වඩා ආදරණීය ලෙස ඔබගේ දරුවා යහමගට ගන්නට සුදුසු ක්‍රමයක් පිළිබඳව ඔබ සිතා බැලුවේ නැද්ද. අපි අද ඒ ගැන කතා කරමු.
දරුවන් දඩබ්බර වීමට පුළුවනි. ඔබට ඇහුම්කන් නොදෙනටද පුළුවනි. ඇත්තෙන්ම ඒ ඔවුන් තවමත් දරුවන් නිසයි. මවක් වශයෙන් ඔබ මුලින්ම තේරුම් ගත යුත්තේද එම කාරණාවයි. පැරණි කාලයේදී දඬුවමින් දරුවන් හැදුවත් අද සිටින්නේ බුද්ධියෙන්, තාක්ෂණ හැකියාවෙන් සහ දක්ෂතාවයෙන් පිරුණු දරුවන්ය. අද පවුලක සාමාජිකයන් ජීවත් වන්නේ කිසියම් අතෘප්තියකින්. ගේදොර යාන වාහන හොඳ රැකියාවක් මිලමුදල් මේ සෑම දෙයක්ම තිබුණද බිරිඳ සැමියා දරුවන් මේ සියලු දෙනාම ඉන්නේ නිතරම ලොකු තරහකින්. මවුපියන් සහ දරුවන් අතර පැවතිය යුතු සහසම්බන්ධය ද වර්තමානය වන විට හීනවෙමින් පවතී. එයට ප්‍රධානම හේතුව කාර්යබහුල ජීවන රටාව වන්නට ද පුළුවනි. බොහෝ වෙලාවට දරුවා කුඩා කාලයේ දී තම මවට වඩාත් සමීප වන අතර එම දරුවා හැදී වැඩුණේ මවගේ උණුසුමත්, සුවඳත්, ආදරයත් සමඟින්. ඉතින් දැන් දඩබ්බර වී ඇති ඔබගේ දරුවා නැවත හික්මවා ගත හැක්කේ ද එවැනිම ආදරයක් උණුසුමක් දරුවන්ට ලබාදීමෙන් බව මව්වරුන් අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුයි. ඔබගේ මව්පියන්ගේ කුඩා කාලය වගේ නොවෙයි ඔබේ කුඩා කාලය. ඔබේ දරුවන්ගේ කුඩා කාලය ඔබේ කුඩා කාලයට වඩා හාත්පසින්ම වෙනස්. එම නිසාම වර්තමානයේ දී අප විසින් දරුවන් හික්මවීමට භාවිතා කරන ක්‍රමවේදය වෙනස් කිරීම අත්‍යවශ්‍යයයි. දරුවන්ට සිදුකරන ශාරීරික ගුටිබැට දීම් මෙම කාලයේදී පිළිගන්නට නම් නොහැක. මක්නිසාද මේ කාලයේදී දරුවන්ගේ උඩු සිතට වඩා යටි සිත බලවත් වීම නිසාවෙනි. ඔබ මවක් වශයෙන් නිරන්තරයෙන්ම දරුවාට ගුටිබැට දීමට පුරුදු වුවහොත් එය දරුවාට කෙසේ බලපාවිද යන්න ඔබ විසින්ම සිතිය යුතුයි. ඇතැම් දරුවන් විවාහයත් සමගම බොහෝ දුරට තම පවුලෙන් දෙමව්පියන්ගෙන් ඈත් වීමක් දක්නට ලැබේ. එයට හේතුව සොයා බැලීමේදී දැක ගත හැකි වන්නේ තමා කුඩා කල දෙමාපියන් විසින් තමාට ලබාදුන් දඬුවමක් එම ඈත්වීමට හේතු වී ඇති බවයි. එම දඬුවම බොහෝ විට දරුවාගේ යටි සිතේ තැන්පත් වී තිබෙන්නට ද පුළුවනි. එවිට ඔබට නොදැනුවත්වම ඔබගේ දරුවා ඔබෙන් ඈත් වීමට ඇති සම්භාවිතාව වැඩි බව මෙහිදී මවක් වශයෙන් ඔබ විසින් තේරුම් ගත යුතුයි. වර්තමාන දරුවන් නිවැරදි මාර්ගයට ගැනීමට මවක් සිහි නුවණින් කටයුතු කළ යුතු බව දැන් ඔබට වැටහෙනවා ඇති. දරුවාගේ වරදට කෝටුවෙන් උත්තර දෙනවාට වඩා ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් උත්තර දෙන්නට මවකට හැකියාවක් පවතී නම් කුඩා කල මෙන්ම වැඩිහිටි වියේදීත් ඔබත් දරුවාත් අතර ආදරණීය බැඳීමක් පවත්වාගෙන යාමට ඔබටත් හැකි වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
674 Views
Comments