ඔබගේ පෝෂණ මට්ටම මැන බලන්නේ කෙසේද

කිසියම් පුද්ගලයෙකු දෙස බැලූ පමණින් ඔහු හෝ ඇය මන්දපෝෂණයෙන් පෙළෙන්නේ දැයි කීම අපහසුයි. අධික ලෙස තරබාරු අය මෙන්ම ඉතාමත් සිහින් කෙසඟ දුර්වල අය පෝෂණ ගැටලු වලින් පෙලෙන බව එකවරම පෙනී ගියත් සුළු වශයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන අය සාමාන්‍ය පුද්ගලයන් සේ පෙනෙන්නට පුළුවනි. එබැවින් කිසියම් පුද්ගලයෙකු ප්‍රෝටීන් සහ කැලරි මන්දපෝෂණයෙන් පෙළෙන්නේ දැයි දැනගැනීම සඳහා ඔහුගේ හෝ ඇයගේ හෝ උසට ගැලපෙන බර තිබේදැයි සොයා බැලිය යුතුයි. කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම මැනීමේදී වයසට ගැලපෙන බර තිබේද ඒ සෞඛ්‍ය සංවර්ධන සටහනේ ආධාරයෙන් සොයා බැලුවත් තරුණ තරුණියන්ගේ පෝෂණ මට්ටම මැනීමට සුදුසු ක්‍රමය උසට ගැළපෙන නියමිත බර තිබේදැයි සොයා බැලීමයි. ඔබගේ උසට ගැලපෙන බර පරාසයන් හඳුනා ගැනීම ඉතාමත් වැදගත් බව දැන් ඔබට වැටහෙනවා ඇති.
ඔබගේ උස ඉදිරියෙන් ඇති බර පරාසයට වඩා ඔබගේ බර වැඩි නම් ඔබ ස්ථුලතාවයෙන් පෙලෙන අයෙකි. අඩු නම් ඔබ මන්දපෝෂණයෙන් පෙළෙන අයෙකු ලෙස හඳුනාගත හැකියි. මෙම තත්ත්වයන් දෙකෙහිදීම ඔබ විසින් කළ යුතු වන්නේ නිසි පරිදි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි. උසට ගැලපෙන බර තිබේද ගණනය කිරීම සඳහා තවත් ලේසි ක්‍රමයක් තිබේ. පලමුවෙන්ම ඔබගේ උස අඩි සහ අඟල් වලින් මනින්න. ඉන්පසු බර රාත්තල් වලින් මනින්න. අඩි පහක් උස ඇති පිරිමියෙකුගේ බර රාත්තල් 110ක් විය යුතුයි. අඩි පහක් උස කාන්තාවකගේ බර රාත්තල් සීයක් විය යුතුයි. ඉන්පසු වැඩි වන උස හැම අඟලක් සඳහාම රාත්තල් 5 බැගින් එකතු කරන්න. අඩි 5 ට අඩු වන හැම අඟලක් සඳහාම රාත්තල් 5 බැගින් අඩු කරන්න. එවිට ඔබට උසට ගැලපෙන බර තිබේද යි පහසුවෙන්ම ගණනය කරගත හැකියි. තරුණ තරුණියන්ගේ පෝෂණ මට්ටම මැනිය හැකි තවත් දර්ශකයකි දේහ ස්කන්ධ දර්ශකය හෙවත් body max index. මෙය ස්ථුලභාවය මැනීම සඳහා යොදා ගත හැකි ඉතා හොඳ දර්ශකයකි. දේහ ස්කන්ධ දර්ශකය ගණනය කරනු ලබන්නේ ඔබගේ බර කිලෝ ග්‍රෑම් ගනන උස මීටර් වර්ගයෙහි ගණනින් බෙදීමෙනි. ලැබෙන පිළිතුර 20-24.9 ත් කතරේ නම් ඔබ හොඳ පෝෂණ තත්ත්වයෙන් පසුවෙයි. 25-29.9 අතර නම් ළමු ශ්‍රේණියේ ස්ථුලභාවයෙන් ද 30-40 අතර නම් දෙවන ශ්‍රේණියේ ස්ථුල භාවයෙන් ද 40ට වැඩිනම් තෙවන ශ්‍රේණියේ ස්ථුලභාවයෙන් ද පෙළෙයි. ඔබගේ b. m. i. අගය 20ට අඩු නම් ඔබ මන්දපෝෂණයෙන් පෙලෙනු ඇතැයි නිගමනය කළ හැකියි.
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ප්‍රශ්න ලෙස හඳුනාගත් මන්දපෝෂණ තත්ත්වයන් හතරක් දක්නට ලැබෙන බව ඔබ දන්නවාද. ප්‍රෝටීන් කැලරි මන්දපෝෂණය ඉන් පළමුවැන්නයි. යකඩ ඌනතාවය නිසා හටගන්නා රක්තහීනතාවය, අයඩින් ඌනතාවය සහ විටමින් ඌනතාවය අනෙක් මන්දපෝෂණ තත්ත්වයන් වේ. රක්තහීනතාවය හෙවත් පාන්ඩුව විශේෂයෙන්ම තරුණියන් අතර දක්නට ලැබෙන තවත් මන්දපෝෂණ තත්වයකි. එයට හේතුව ආර්තවය හෙවත් මාසික ඔසප් වීමේදී රුධිරය පහ වීමත් සමඟ ශරීරයේ රුධිර ප්‍රමාණය අඩුවීමයි. අයඩීන් ඌනතාවය ද තරුණියන් අතර වැඩිපුර දක්නට ලැබෙන මන්දපෝෂණ තත්ත්වයකි. බෙල්ලෙ මැද පිහිටා ඇති තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ තයිරොක්සීන් හෝර්මෝනය නිපදවීම සඳහා අයඩීන් නොමැති ඛනිජයෙන් ස්වල්ප ප්‍රමාණයක් අවශ්‍ය වේ. එය ආහාර මගින් නොලැබුණ විට තයිරොක්සීන් හෝර්මෝනය නිපදවීමේ ක්‍රියාවලිය අඩාල වෙයි. අයඩීන් සහිත ලුණු භාවිතය මගින් අයඩීන් ඌනතාව අවම කරගත හැකියි. ගලගණ්ඩය හෙවත් වායු ගෙඩි ඇතිවීම, කම්මැලිකම, ඇඟ මහත් වීම යනාදිය අයඩින් ඌනතාවය නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණ කිහිපයකි. රුධිරයේ ඇති තයිරොක්සීන් සහ TSH නමැති හෝමෝන මට්ටම මැන බැලීමෙන් අයඩීන් ඌනතාවයෙන් පෙළෙන්නන් හඳුනාගත හැකියි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1145 Views
Comments