සුවබර දිවියක් උදෙසා බහිස්ස්‍රාවීය පද්ධතිය නිරෝගීව පවත්වා ගනිමු

සිරුරේ නිරන්තර ක්‍රියාකාරීත්වයේ දී නිපදවන අපද්‍රව්‍ය ශරීරයෙන් පිටතට බැහැර කිරීමේ කාර්යය සිදුකරන්නෙ බහිස්ස්‍රාවීය පද්ධතියයි. බහිස්ස්‍රාවීය පද්ධතියේ ප්‍රධාන අවයව වකුගඩු ය. බෝංචි ඇටයක හැඩයට සමාන වකුගඩු දෙකක් උදරයේ පිටුපසට වන්නට කොඳුඇට පේලියේ දෙපස පිහිටා ඇත. වකුගඩුවක් තුළ මුත්‍ර පෙරීමේ ක්‍රියාවට දායක වන වෘක්කාණු දස ලක්ෂයක් පමණ ඇත.
රුධිරය වකුගඩු තුළින් ගමන් කරන විට වෘක්කාණු මගින් මුත්‍ර සෑදෙයි. වකුගඩුවේ දී නිපදවන මූත්‍ර මූත්‍රවාහිනී හරහා මුත්‍රාශයට ප්‍රවාහනය කර ගබඩා කෙරේ. ඇදෙනසුළු පේෂිමය බිත්තියක් ඇති මුත්‍රාශයට මුත්‍රා ගබඩා කර ගත හැකි අතර අවශ්‍යතාව එළඹි විට පහ කරයි. බහිස්‍රාවීය ක්‍රියාවලිය සඳහා වකුගඩු පමණක් නොව පෙනහලු, සම හා අක්මාව වැනි ඉන්ද්‍රියන් ද දායක වෙති. පුද්ගලයන් වශයෙන් නිරෝගී දිවි පැවැත්මක් උදෙසා බහිස්‍රාවීය පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. අපද්‍රව්‍ය බොහෝමයක් මුත්‍රා සමඟ පිටවන බැවින් එම කාර්යය කාර්යක්ෂමව ඉටු කිරීමට ඇති තරම් ජලය තිබීම අත්‍යවශ්‍යයි. අඩුවෙන් ජලය පානය කළ දිනයක මුත්‍රා තද පාටින් සුළු ප්‍රමාණයක් පමණක් නිපදවේ. ජලය ප්‍රමාණවත් තරම් පානය කළ විට ලා පැහැති මුත්‍රා වැඩිපුර ප්‍රමාණයක් පිටවේ. එමනිසාවෙන් බහිස්‍රාවීය පද්ධතියේ නිරෝගී බව උදෙසා දිනකට ප්‍රමාණවත් පිරිසිදු ජල ප්‍රමාණයක් පානය කිරීම ඉතාමත් වැදගත්. අවට පරිසරයට හා ජලයට රසායනික ද්‍රව්‍ය එක් වීම වැළැක්වීමෙන් හා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය අවම කිරීමෙන් ජලයේ පිරිසිදු බව රැකගත හැකිය. සුදුසු ජල ප්‍රභව නැතිනම් ආරක්ෂිත පෙරන මගින් පිරිසිදු කරගත් ජලය භාවිතා කිරීම සුදුසුයි. තවද පුද්ගලයන් වශයෙන් අවශ්‍යතාව ඇතිවූ විට මුත්‍රා පහ කිරීමට ද වගබලා ගත යුතුයි. අවශ්‍ය වූ විට මුත්‍රා පිට කිරීම මුත්‍රාශයෙ සෞඛ්‍යයට හේතුවෙයි. වැඩිපුර වේලාවක් මුත්‍රා රඳවාගෙන සිටීම නිසා මුත්‍රා රෝග ඇතිවීමට වැඩි ප්‍රවණතාවක් පවතී. තවද බහිස්ස්‍රාවීය පද්ධතියේ නිරෝගී බව රැක ගැනීම උදෙසා ලිංගික අවයව වල පිරිසිදු භාවය රැක ගැනීමද වඩාත් වැදගත් වේ. බහිශ්‍රාවීය හා ලිංගික පද්ධති ආශ්‍රිතව අවයව වල පිරිසිදුකම රැකගැනීම රෝග වැළැක්වීමට හේතු වේ. නයිලොන් වැනි කෘතිම රෙදිවලින් මැසූ යට ඇඳුම් භාවිතයෙන් වැළකී කපු වැනි රෙදි වලින් මැසූ යට ඇඳුම් භාවිතා කිරීම අප වැනි උණුසුම් රටක වාසය කරන අයට ඉතාමත් සුදුසුයි. යට ඇඳුම් දිනපතා මාරු කර පිරිසිදු කිරීමට ද අමතක නොකළ යුතුයි.
තවද බහිස්‍රාවීය පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ භාවිතා කිරීමෙන් වැළකීම අත්‍යවශ්‍යය කාරණයකි. එමෙන්ම පුද්ගලයන් විසින් ආහාර වලට එකතු කරන ලුණු ප්‍රමාණය ද අවම කිරීම මගින් බහිස්ස්‍රාවීය පද්ධතියේ නිරෝගී භාවය රැක ගැනීමට ඉවහල් වනු ඇත. වයස මාස හයේ සිට අවුරුද්ද අතර කාලයේ දරුවන්ගේ ආහාරයට ලුණු එකතු නොකළ යුතුය. කුඩා අවධියේ සිටම ලුණු අඩුවෙන් ආහාරයට ගැනීමට හුරු වීම ද අත්‍යවශ්‍ය කාරණයකි. එමෙන්ම දුම්පානය සහ මත්පැන් පානයෙන් වැළකීම ද කළ යුතුම වන්නේය. මක්නිසාද දුම්පානය සහ මත්පැන් පානය බහිස්ස්‍රාවීය පද්ධතිය ආශ්‍රිත පිලිකා වලට හේතු විය හැකි බැවිනි. පුද්ගලයන් වශයෙන් අප විසින් බහිස්ස්‍රාවීය පද්ධතියේ නිරෝගී භාවය රැක ගැනීමට වගබලා ගත යුතුවේ. මක්නිසාද බහිස්ස්‍රාවී පද්ධතිය අපගේ සිරුරේ පැවැත්මට මහඟු සේවයක් ඉටුකරන අත්‍යවශ්‍ය පද්ධතියක් වන බැවිනි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
2077 Views
Comments