ගෙවත්තකට අත්‍යවශ්‍යම කොම්පෝස්ට් කොටුව

ප්‍රයෝජනයට ගත නොහැකි ද්‍රව්‍ය ලෙස සලකමින් බැහැර කරන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කළහොත් ඒවා සම්පත් ලෙස නැවත ප්‍රයෝජනයට ගත හැකි වනු ඇත. එවිට එම අපද්‍රව්‍ය මගින් පරිසරයට සිදුවන හානිය අවම කළ හැකි වේ. ඔබගේ නිවසේ එකතු වන අපද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වර්ග කර දැක්විය හැකි අතර එනම් දිරාපත් වන අපද්‍රව්‍ය සහ දිරාපත් නොවන අපද්‍රව්‍ය යන දෙවර්ගයයි. මුළුතැන්ගෙයින් ඉවත ලන එළවළු පළතුරු ආදියෙහි පොතු, පොල් කුඩු, ඉඳුල් සහ ගස්වලින් වැටෙන කොළ ආදිය දිරාපත් වන අපද්‍රව්‍ය වන අතර පොලිතීන්, ඉටිරෙදි, පොලිසැක් උර, පොල්කටු, බෝතල් කටු, පිඟන් කටු ,ප්ලාස්ටික් බීම බෝතල් හා පානීය ජල බෝතල් යනාදිය දිරාපත් නොවන අපද්‍රව්‍ය වශයෙන් වර්ග කර දැක්විය හැකි වේ. මෙම අපද්‍රව්‍ය දෙවර්ගය අතුරින් පරිසරයට වැඩියෙන්ම අහිතකර වනුයේ දිරාපත් නොවන අපද්‍රව්‍යයි. අපද්‍රව්‍ය කළමනාකරණයේ මූලිකම අවස්ථාව අපද්‍රව්‍ය වෙන් වෙන්ව එකතු කිරීම වන අතර එය අපද්‍රව්‍ය ජනනය වන අවස්ථාවේදීම කළ යුත්තකි. නිවසක එකතු වන සියළුම ආකාරයේ දිරාපත් වන අපද්‍රව්‍ය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගත හැකිවේ. කොම්පෝස්ට් පොහොර සෑදීමේ විවිධ ක්‍රම ඇතත් වඩාත් පහසු ක්‍රමයක් ලෙස කොම්පෝස්ට් කොටු හෙවත් කූඩා ක්‍රමය හැඳින්විය හැකිය. එවැනි කොම්පෝස්ට් කොටුවක් නිවසේදීම පිළියෙල කරගන්නා ආකාරය පිළිබඳව පහතින් ඔබව දැනුවත් කෙරේ.
අවශ්‍ය ද්‍රව්‍ය-
මීටර් එකහමාරක් පමණ දිග සහ සෙන්ටිමීටර් දෙකක් තුනක් පමණ විශ්කම්භය ඇති ලී කෝටු හෝ පුවක් පටි හෝ අමු ග්ලිරිසීඩියා කෝටු 35ක්
උණ ලීයක් හෝ බට ලීයක් පලා සකස් කරගත් නැවිය හැකි පටි කිහිපයක්
කොහු ලණු
උදැල්ලක්
අලවංගුවක්
පිහියක්
සකස් කරගන්නා ආකාරය-
කොම්පෝස්ට් කොටුව සෑදීමට තෝරා ගත් ස්ථානයෙහි භූමිය මුලින්ම පිරිසිදු කරගන්න. එම භූමියෙහි විශ්කම්භය සෙන්ටිමීටර් 60ක් පමණ පළලට වෘත්තයක් ලකුණු කරගන්න. එම වෘත්තයේ පරිධිය මත සෙන්ටිමීටර් හතරක් පහක් පමණ පරතරය ඇතිව සෙන්ටිමීටර් 20 ක් පමණ ගැඹුරට සිදුරු සාදා ගන්න. මේ සඳහා ඔබට අලවංගුවෙ උල් කෙළවර භාවිතා කළ හැක. එම සිදුරු තුළ ඉහත සපයා ගන්නා ලද කෝටු සිටුවා ඒවා නොසෙල්වෙන පරිදි හිරකරගන්න. ග්ලිරිසීඩියා කෝටු සිටුවන්නේ නම් ඒවායේ මහත පැත්ත පහළට සිටින සේ සිටුවා ඒවා මුල් අදින තුරු සතියක් පමණ ජල සම්පාදනය කළ යුතු වේ. ඉන්පසුව සිටුවන ලද කෝටු වටා උණ පටි තබා කොහු ලණු වලින් බැඳ ශක්තිමත් කරගන්න. මෙසේ සකස් කරගත් කූඩයට දිරාපත් වන ඕනෑම අපද්‍රව්‍යක් දැමිය හැකිය. කොම්පෝස්ට් කොටුවෙ පතුලට ආසන්නව ලී කෝටු අතරින් කොම්පෝස්ට් ඉවත් කරගත හැකියි. මෙම කොම්පෝස්ට් ගෙවත්තේ බෝග වගාවට දැමීමට සුදුසු වේ. කොම්පෝස්ට් කොටු සෑදීමේදී අමු ග්ලිරිසීඩියා කෝටු යොදා ගන්නා විට ඒවා පැලවේ. ඉන් ලැබෙන පත්‍ර ද කඩා කොටුව තුළට දැමීමෙන් කොම්පෝස්ට් වල සාරවත් බව වැඩි කළ හැකි වන අතර කොටුව වැඩි කාලයක් පවත්වා ගත හැකි වේ. ඔබේ නිවසේ මෙවැනි කොම්පෝස්ට් කොටුවක් සාදා ගනිමින් ඉන් නිපදවෙන කොම්පෝස්ට් පොහොර ඔබගේ බෝග වලට යෙදීමෙන් වාසි රැසක් අත්පත් කර ගත හැකි වේ. කොම්පෝස්ට් පොහොර යෙදීමෙන් ශාකවලට අවශ්‍ය පෝෂණය ලබා දීමක්ද සිදු වන අතර පස බුරුල් වී පස සරු වීමක්ද සිදුවේ. එමෙන්ම පසේ තෙතමනයද රඳවා තබා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. වෙළඳ පොලෙන් මිලදී ගන්නා කෘතීම පොහොර වර්ග ඔබගේ බෝග වගාවට යොදනවාට වඩා මෙවැනි ආකාරයට ඔබගේ ගෙවත්ත තුළින්ම ලබා ගන්නා කොම්පෝස්ට් පොහොර යෙදීමෙන් වැඩි සාරවත් භාවයක් සහ අස්වැන්නක් ලබාගත හැකිවනු ඇත. එවිට ඔබට නොදැනීම ඔබගේ නිවසෙන් බැහැර කරන අපද්‍රව්‍යද යහමින් කළමනාකරණය වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
2898 Views
Comments