ඉසින පිසින ගෘහණියන්ට මුළුතැන්ගෙයි ආම්පන්න සහ උපකරණ

පුද්ගලයන් වශයෙන් අපට නිරෝගී දිවිපෙවෙතක් සඳහා ගුණාත්මක භාවයෙන් යුතු ආහාර පරිභෝජනය කිරීම ඉතාමත් වැදගත්. එසේම පරිභෝජනයට සුදුසු වන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කරන ලද ආහාර වේ. අමුද්‍රව්‍යවල හා ආහාර වල ගුණාත්මකභාවය ආරක්ෂා වන පරිදි ආහාර පිසීමට පෙර ඒ සඳහා ක්‍රමවත්ම සූදානම් වීම ඉතා වැදගත්. එලෙස අමුද්‍රව්‍ය පිසීමට පෙර සකස් කිරීම සඳහා භාවිතා කරනු ලබන මුළුතැන්ගෙයි ආම්පන්න සහ උපකරණ යනාදිය පිළිබඳව පහතින් දැනුවත් වෙමු.
පිහි වර්ග-
විවිධ කාර්යන් සදහා සුදුසු පරිදි සකස් කරන ලද පිහි වර්ග වෙළඳපොලේ දක්නට ලැබේ. උදාහරණ වශයෙන් පාන් කැපීමට, බටර් පැවරීමට, පළතුරු කැපීමට, එළවළු කැපීමට, මාළු කැපීමට යනාදී වශයෙන් පිහි විවිධ වේ. කැපීමට අවශ්‍ය අමුද්‍රව්‍ය අනුව උචිත පිහි වර්ගය තෝරා ගැනීම ඉතාමත් වැදගත්.
කපන ලෑලි -
කැපීමට තෝරා ගන්නා අමුද්‍රව්‍ය අනුව කපන ලෑලි වෙන් වෙන්ව භාවිතා කිරීම සුදුසු වෙයි. උදාහරණ ලෙස මාළු කැපීම සඳහා භාවිතා කරන ලෑල්ල පළතුරු කැපීම සඳහා භාවිතා නොකරන අතර එළවළු කැපීම සඳහා යොදා ගන්නා ලෑල්ල පාන් කැපීම සඳහා භාවිතා නොකෙරේ. එකම ලෑල්ලක විවිධ වූ අමුද්‍රව්‍ය කැපීමේදී ආහාරවල රස හෝ සුවඳ මිශ්‍ර වීමෙන් ආහාර පරිභෝජනයට නුසුදුසු තත්ත්වයක් ඇතිවිය හැකිය. එමෙන්ම ලී, ප්ලාස්ටික් වැනි අමුද්‍රව්‍ය මගින් විවිධ කපන ලෑලි නිමවා ඇත. කපන ලෑලි, කැපීමේදී යොදන බලයට ඔරොත්තු දීමේ හැකියාව අනුව වෙනස් වෙයි. අමුද්‍රව්‍ය අනුව සුදුසු කපන ලෑලි භාවිතා කළ යුතු අතර වෘත්තීය වශයෙන් ආහාර සකස් කරන ඇතැම් භෝජනාගාරවල කපන ලෑලි මත විවිධ වර්ණ ආලේප කර ඇති අතර එම වර්ණ අනුව එක් එක් අමුද්‍රව්‍ය සඳහා සුදුසු ලෑල්ල තෝරා ගැනීම පහසු වේ.
සූරන හා පෙරන් ගෑමේ උපකරණ-
අමු ද්‍රව්‍ය පිළියෙල කිරීමේදී ඇතැම් විට පෙරන් ගෑම අවශ්‍ය වේ. මෙහිදී පොතු ඉවත් කිරීම සඳහා සූරන උපකරණද, අල කැරට් වැනි අමුද්‍රව්‍ය පෙති, තීරු සහ කැබලි බවට පත්කර ගැනීම සඳහා grater යොදා ගනී. මේ සඳහා මල නොබැඳෙන වානේ වලින් නිපදවා ඇති උපකරණ වඩාත් යෝග්‍ය වේ.
පෙරහන් වර්ග-
ආහාර පිළියෙල කිරීමේදී විවිධ පෙරහන් වර්ග භාවිතා වෙයි. ඒ සඳහා යොදා ගන්නා පෙරහන් වර්ග ද ඒ ඒ කාර්යයට උචිත වන පරිදි නිර්මාණය කර ඇත. උදාහරණ වශයෙන් පොල් කිරි, තේ වැනි දෑ බේරාගැනීමට පෙරහනක් භාවිතා කරන අතර දෙහි, දොඩම්, නාරං වැනි යුෂ මිරිකීම සඳහා යුෂ මිරිකනයක් යොදා ගැනේ.
භාජන වර්ග-
ආහාර පිසීම සඳහා අමුද්‍රව්‍ය සූදානම් කිරීමේදී අවශ්‍යතාවට අනුව සුදුසු භාජනය තෝරා ගැනීම වැදගත් වේ.
හැදි වර්ග-
ආහාර පිළියෙල කිරීමේදී අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීම වැනි කාර්යයන් සිදුකිරීම සඳහා හැඳි වර්ග භාවිත වේ. සකස් කරන ලද අමුද්‍රව්‍ය සඳහා උචිත ආකාරයෙන් හැඳි වර්ග තෝරා ගැනීමට ගෘහණියන් විසින් වගබලා ගත යුතුවේ. cake මිශ්‍රණ සකස් කිරීමට හෝ ආම්ලික අමුද්‍රව්‍ය කළවම් කිරීමට පොල්කටු හැඳි හා ලී හැදී භාවිතා කරනු ලැබේ.
මුළුතැන්ගෙයි භාවිතාවන උපකරණ අතර විදුලියෙන් ක්‍රියාත්මක වන සහ අතින් ක්‍රියාකරවියහැකි උපකරණ විශාල සංඛ්‍යාවක් ඇත. උදාහරණ ලෙස මිශ්‍ර කරණය, බීටරය, හිරමනය ,වංගෙඩිය සහ මෝල් ගස යනාදිය හැඳින්විය හැකිය. පිසීමට පෙර ආහාර සකස් කිරීම සඳහා උචිත මුළුතැන්ගෙයි ආම්පන්න උපකරණ තෝරාගැනීම, භාවිතා කිරීම හා නඩත්තු කිරීම ගැන දැනුවත්වීම, පිළියෙල කරනු ලබන ආහාරවල සෞඛ්‍යරක්ෂිත බව පවත්වා ගැනීම සඳහා ගෘහණියන්ට ඉතාමත් වැදගත් වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
2162 Views
Comments