සාරි මිලදී ගැනීමේදි බලන්න ඕන දේවල්

කාන්තා ලාලිත්‍යයෙහි සුන්දරත්වය මනාව විදහා දක්වන්නට හැකියාව ඇති වන ඇදුම් පිළිබඳව සිතුවොත් ඒ අනිවාර්යයෙන්ම ඒ සාරිය හා ඔසරියයි. හැඩට වැඩට සාරි අඳින්නට කැමැත්තක් දක්වන කාන්තාවන්ට සුන්දරත්වය පමණක්ම නොව මනා වූ පිළිවෙළකින් හා සංයමයක් ඔවුන් තුළ දක්නට ලැබෙනවා.
ඉතින් විවිධ වූ අවස්ථාවන්ට ගැලපෙන ආකාරයට සාරි වර්ග තෝරා ගන්නටත්, සිරුරේ හැඩයට, හිත ගිය සාරියක් මිලදී ගැනීමේදී ගොඩක් දේ පිළිබඳව සැළකිලිමත් විය යුතු බව ඔබ දන්නවාද ? වියදම් කරන මුදලට සරිලන අයුරින් සාරියක් තෝරා ගැනීමට නම් ඔබ සැළකිලිමත් විය යුතු කරුණු මොනවාද යන්න අද අපි විමසා බලමු.
- සාරියෙහි උස
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සාරියක නිවැරදි උස ලෙස අඟල් 44 ක් හෝ අඟල් 45 ක් ලෙස සැලකෙනවා ( ප්‍රමාණයන් මඳ වශයෙන් වෙනස් විය හැක ) සාමාන්‍ය උසට වැඩි කාන්තාවක් නම් ඔබ පළමුව සකස් කරන ප්ලීට් එක මදක් පහළට තැබීමෙන් සාරියක වන කොට ගතිය නැති කර ගැනීමට හැකි වන අතර, සාරියක් මිලදී ගැනීමට පෙර එහි උස පිළිබඳව අනිවාර්යයෙන්ම ඔබ සැළකිලිමත් විය යුතු වනවා.
- සාරියෙහි දිග
සාරියක පළල මෙන්ම සාරියක දිගත් ඉතාමත්ම වැදගත්. බොහොමයක් සාරි වලට හැට්ට කොටස ( බ්ලවුස් පීස් ) කොටසක් ඇතුළත්ව වෙළෙඳපොළෙහි දකින්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙම බ්ලවුස් පීස් කොටස තිබෙන බවට ( with blouse piece ) ලෙස ලේබලයක් අලවා ඇත.
බ්ලවුස් පීස් එක සමඟ නම් මීටර් 6.3 ක් පමණ සාරියෙහි දිග වන අතර බොහෝ වෙළදුන් සාරි බ්ලවුස් පීස් එක ඇති බවට පවසා සාමාන්‍ය සාරි විකිණීම හේතුවෙන් ඔබ සාරියක් blouse piece එකත් එක්ක මිලදී ගන්නවානම් එම සාරිය දිග හැර බැලීමට ඔබට අනිවාර්යයෙන්ම අයිතියක් ඇත.
අවශ්‍යම නම් ඒ ස්ථානයේ සිටින සේවක මහතෙකුගේ හෝ මහත්මියකගේ මිනුම් පටිය ගෙන මැන බැලීමටද ඔබට හැකියාව ඇත. එය පාරිභෝගික ඔබගේ අයිතිවාසිකමක් බව නිතර මතක තබා ගන්න.
- නිශ්පාදන ප්‍රමිතිය
සාමාන්‍යයෙන් සාරියක අප පෙර කී ලෙස දිග හා පළල සොයා බැලීමට හොඳ අවබෝධයක් ඇතත් නිශ්පාදන ප්‍රමිතිය පිළිබඳව අවබෝධ කරගෙන සොයා බලන්නේ කෙසේද ? සෑම විටම සාරියක නියමිත වූ වටිනාකම එම සාරියෙහි බර අනුව තීරණය වන බව මතක තබාගන්න.
ප්‍රමිතියෙන් උසස් නූල් භාවිතයෙන් මසන ලද සාරි හොඳ බරකින් යුතු වන බැවින් නූල් කැඩීම, ඇදීම හා ඇකිලීම අවම වෙනවා. හොඳ ප්‍රමිතියකින් යුතු සාරි වල නූල් මැස්ම මුල සිට අග දක්වා එක හා සමානව පවතිනවා.
පෙනුමට සාරියෙහි මුලින් එක ළඟ මැස්ම තිබුණත් මැද හා අග වන විට එම මැස්මෙහි පරතරය වෙනස්ව ඇත්නම් එය හොඳ නිශ්පාදන ප්‍රමිතියකින් නිපද නොවූවකි. මෙසේ නූල් වලට අමතරව පැල්ලම් හා පළුදු වීම්ද තිබෙන්නට පුළුවන් නිසා සාරිය සාරිය දිග හැර හොඳින් බැලීම කළ යුතු වනවා.
තොග අවසන් කිරීමේ සේල් වලින් ඔබ සාරියක් මිලදී ගන්නේ නම් එහි මොනයම් හෝ අඩුපාඩුවක් ඇති බවත් ඔබ මතක තබා ගත යුතුයි.
- වැඩ දැමූ සාරි
සාමාන්‍යයෙන් අතින් වැඩ දැමූ සාරි මිලෙන් අධිකයි. එවැනි සාරියක මිල තීරණය වන්නේ එහි වැඩ දමා ඇති ආකාරය අනුවයි. සීක්වින්ස්, බීඩ්ස්, ස්ටෝන්ස්, මිරර් වර්ක්, ත්‍රෙඩ් වර්ක්, කට් වර්ක් වැනි විවිධාකාරයේ වැඩ සාරි වලට දමනු ලබනවා.
ඒත් මතුපිට ලස්සන පමණක්ම බලමින් එවැනි සාරි මිලදී නොගන්න. මෙම සාරි වල කනපිට අනිවාර්යයෙන්ම බැලීම කළ යුතුයි. නූල්වලින් නිවැරදිව එකිනෙක අමුණා ඇත්නම් එය නිවැරදි ප්‍රමිතියකින් යුක්ත වේ. ස්ටෝන්ස් වැනි දෑ ඇලවූ ඝණයට අයත් වන නිසා එවැනි සාරිවල ස්ටෝන්ස් නිවැරදි නොගැලවෙන ලෙස අලවා ඇත්දැයි පරීක්ෂා කර බලන්න.
වැඩ දැමූ සාරි වලින් මිල අධිකම වනුයේ අතින් එම්බ්‍රොයිඩර් කළ සාරි වන අතර මිල අඩු වන්නේ මැෂින් එම්බ්‍රොයිඩර් කළ සාරි වලයි.
- කැටලොග් සාරි
වෙළෙඳපොළෙහි ඇති තවත් සාරි වර්ගයක් තමයි කැටලොග් මෝස්තර සාරි කියන්නෙ. මොකක්ද ඒ සාරිය ? එහිදී කැටලොග් එකක ඇති යම් සාරි මෝස්තරයක් නිරූපිකාවකට අන්දවා එය නිශ්පාදනය වන මේ සාරි වෙළෙඳපොළට එන්නේ සීමිත කාලයකටයි.
මාස දෙක තුනකින් මෙම සාරි වෙනස් වන බැවින් බොහෝ කාර්යාල යුවතියන් මෙවැනි සාරි මිලදී ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වයි.
- කොට්න් හෙවත් කපු සාරි
ඔබ කොට්න් සාරි ඇදීමට ප්‍රියතාවයක් දක්වන්නේ නම් වඩාත් සුදුසු වනුයේ දේශීය ලෙස නිශ්පාදිත සාරි වර්ග මිලට ගැනීමයි. මේවා ප්‍රමිතියෙන් ඉතා උසස් වුවද කොට්න් සාරි ඇදීමට හැකි වන වාර ගණන සීමිතයි. ටික කලකින් සායම් යෑමට ඉඩ කඩද වැඩි වනවා.
by Kaushalya De Silva
Photo source : Internet
4016 Views
Comments