නිවසක් ඉදිකිරීමේදී තේමාව වැදගත්

තමන්ටම කියලා සිහින නිවසක් ගොඩනංවා ගැනීම ඕනෑම කෙනෙකුගේ සිහිනයක්. එම සිහිනය සැබෑවක් කර ගැනීමේදී නිවසට මෙන්ම නිවැසියන්ට ද උචිත වන තේමාවක් තෝරා ගැනීම ඉතාම වැදගත්. යම් තේමාවකට අනුව නිවසේ අංග සකස් කරගැනීමෙන් වර්ණ ගැළපූ චිත්‍රයක් මෙන් නිවස අලංකාර කරගත හැකියි. නිවසට ගැලපෙන තේමාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව පහතින් දැනුවත් වෙමු.
පළමුවෙන්ම අලුතින් ගොඩනඟා ගන්නා නිවසේ ජීවත් වෙන්නේ කවුරුන්ද යන්න තේමාවක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතුයි. කුමන වෘත්තියක නියැලෙන පුද්ගලයන් සිටීද, දරුවන් අධ්‍යාපනය ලබන වයසේ පසු වෙනවානම් ඔවුන්ගේ අවශ්‍යතා මොනවාද යන්නත් ඊට අදාළ වේ. එසේම ඉතාමත් කුඩා දරුවන් සිටිනවා නම් ඔවුන්ටද ගැළපෙන අයුරින් නිවසේ අංග ගලපා ගැනීම ඉතාමත් වැදගත්. තවද නිවැසියන්ගේ වයස් සීමාවන් පිළිබඳවද සැලකිලිමත් වීම තේමාවක් තෝරා ගැනීමේදී ඉතාම වැදගත්. තරුණ වයසේ පසු වන යුවළකට වඩා මැදි වයසේ පසුවන යුවළකගේ සිතුම් පැතුම් වෙනස් බව මෙහිදී තේරුම් ගත යුතුයි. තවද නිවැසියන්ගේ රැකියාවල ස්වභාවයද සලකා බලා තේමාවක් තෝරා ගැනීම වඩාත් උචිත වේ. නිවසක් ඉදිකිරීමේදී නිවැසියන් නියැලෙන වෘත්තියට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. කාර්යාල රැකියාවක් සිදුකරන පුද්ගලයන් සිටිනවා නම් කාර්යාල කාමරයක් ද එක්කර ගැනීම ඔවුන්ගේ වැඩ කටයුතු පහසු කරනු ලබයි. එසේම එම කාර්යාල කාමරය අන් අයගේ පෞද්ගලික කටයුතුවලට බාධාවක් නොවන පරිදි ස්ථානගත කිරීම ද වැදගත්ය. එවැනි කරුණු නිසාවෙන් ගෘහ අභ්‍යන්තර නිර්මාණකරණයේදී වෘත්තීය පසුබිම පිළිබඳව නිර්මාණකරුවා දැනුවත් කිරීමට වගබලා ගන්න. තවද අලුතින් ඉදිකිරීමට බලාපොරොත්තු වන නිවසේ චිත්‍රයක් නිවැසියන්ගේ මනසෙහි පවතින අතර එය නිවැරදිව නිර්මාණකරුවාට ලබා දීමටද අමතක නොකළ යුතුයි. එම චිත්‍රය නිවැසියන්ගේ අධ්‍යාපන මට්ටම, සමාජ තරාතිරම සහ රැකියාවේ ස්වභාවය යන කරුණු මත විවිධ වේ. එමනිසා ඒ චිත්‍රය පිළිබඳව නිර්මාණකරුවා දැනුවත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවද මතකයේ තබාගන්න.
නව නිවස ඉදි කිරීමට තෝරාගනු ලබන ස්ථානය ද මෙහිදී වැදගත් වේ. තමන් නිවස ඉදිකිරීමට තෝරාගන්නේ බෑවුම් සහිත භූමියක් ද, උස් බිමක් ද, මහ පාරට ආසන්න භූමියක්ද, මුහුදට ආසන්න භූමියක්ද නැත්නම් වෙල් යායක් දර්ශනය වන ස්ථානයක් ද ආදී වශයෙන් නිවස ඉදිකරන භූමියේ ස්වභාවය සහ අවට පරිසරයේ ස්වභාවය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා තිබීම වැදගත්. ඔබ මෙහිදී බාහිර පරිසරය පිළිබඳව සැලකිලිමත් නොවී කිසියම් තේමාවක් ඔබගේ නිර්මාණකරුවාට ලබාදුන්නද එම තේමාව ඔබගේ නිවස අවට පරිසරය සමඟ නොගැලපීමක් සිදු වුවහොත් එමගින් නව නිවසට අවලස්සනක් ගෙන දීමට පුළුවනි. මෙවැනි කරුණු කාරණා පිළිබඳව නිවසට තේමාවක් තෝරා ගැනීමේදී අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. එවිට ඔබටත් වඩාත් සුන්දර මෙන්ම ආකර්ෂණීය නිවසක් ගොඩනංවා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
481 Views
Comments