ගෙවත්ත සැරසීමට වැඩිපුර යොදා ගන්නා තෘණ වර්ග

ගෙවත්තේ තණ පිටි සකස් කිරීමේදී මූලිකවම කළ යුතු වන්නේ තෝරාගත් බිමේ පස හොඳින් අඩියක් පමණ පෙරළා ගැනීමයි. ඉන්පසුව එහි පවතින ගල් කැබලි සහ වෙනත් ද්‍රව්‍ය ඉවත් කර හොඳින් පිරිසිදු කර ගත යුතු වෙනවා. එසේම වගාවට උචිත පසක් බවට පත්කර ගැනීම සඳහා පස් පරීක්ෂාකර බලා අවශ්‍යතාවය අනුව කොම්පෝස්ට් පොහොර වැලි හා කොහුබත් මිශ්‍ර කරගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් එම පසේ මැටි ගතිය වැඩි නම් වැලි එකතු කිරීම කළ යුතු වෙනවා. කාබනික පොහොර ප්‍රමාණය අඩු නම් වැඩිපුර කොම්පෝස්ට් පොහොර එක්කර ගැනීම තුලින් උචිත වගා මාධ්‍යයක් සකස් කර ගන්න පුළුවන්.
Axonopus compressus
බොහෝ දෙනෙක් භාවිතයට ගන්නා කාපට් තෘණ ලෙස හඳුන්වන මෙම වර්ග බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනවා. එහි පත්‍ර තරමක් විශාලයි. නඩත්තුව හරිම පහසුයි. ඒ නිසා වැඩි දෙනෙක් මෙය මේ තෘණ වර්ගය තම ගෙවත්ත එකතු කරගැනීමට කැමති.
Axconopus hybrid
මිනි බෆලෝ ලෙසින් හඳුන්වන මෙම තණකොළ වර්ගය බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි. ඒවායේ පවතින වැදගත් ලක්ෂණය වෙන්නේ අඩු නඩත්තු කටයුතු සහිතව පහසුවෙන් පවත්වාගෙන යා හැකි වීමයි. නමුත් දැඩි හිරු රශ්මිය මෙම වර්ගයට එතරම් සුදුසු වෙන්නේ නැහැ. එම නිසා සියට 50 ක් පමණ හිරු රශ්මිය සහිත භූමියකට වඩාත් ගැලපෙන විශේෂයක් ලෙසින් මෙය සැලකෙනවා. හැබැයි යම් හෙයකින් හිරු රශ්මිය සහිත බිමක මෙම තෘණ වගා කරන්න යෙදුණොත් නොකඩවා ජලය සැපයීම සිදු කිරීමට වගබලා ගත යුතු වෙනවා. එය සාර්ථක තණ පලසක් ලබාගැනීමට හැකි මාර්ගයක්.
Zoysia Matrella
සාමාන්‍ය ජනතාව අතර ඕස්ට්‍රේලියන් තෘණ ලෙස හඳුන්වනු ලබන්නේ මෙම තෘණ වර්ගයි. මෙම වර්ගය හොඳින් සූර්යාලෝකය ප්‍රියකරන වර්ගයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. එහෙත් නඩත්තු කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්නට වගේම වැඩි වෙහෙසක් දරන්නට සිදුවන නිසා ඉතාමත් කැපවීමෙන් රැකබලා ගතයුතු වෙනවා. එසේ වුවත් නියමිත කාලයට අනුව කප්පාදු කිරීමෙන් අලංකාර ලෙස පවත්වාගෙන යාමට හැකියාව තියෙනවා.
Digitaria Didactyla
නිල් තෘණ හඳුන්වනු ලබන මෙම වර්ගය වැඩි වශයෙන් භාවිතයට ගන්නෙ කඳුකර කලාපයන් තුළ. වටිනාකම අතින් ඉතා ඉහළ අගයක් ගන්නා මෙම තෘණ වර්ගය භාවිතා කර අලංකාර තෘණ පිටි ලබාගැනීමට හැකියාව තියෙනවා.
Paspalum Vaginatum
දැනට වෙළෙඳපොලේ පවතින මෙම තෘණ වර්ගය සාමාන්‍යයෙන් අතරමැදි කලාපවල බහුලව භාවිතා කරනවා. මේවායේ තෘණ පත්‍ර සිහින් දිගටියි. බොහෝ දෙනෙකු ප්‍රියතාවයක් දක්වන්නේ ඒ නිසාමයි.
Cynodon dactylon
මේ තෘණ වර්ගය වඩාත් සුදුසු වන්නේ වියළි කලාපීය ප්‍රදේශ සඳහායි. සිහින් දිගටි තෘණ වර්ගයක් වන මෙය පහසුවෙන් නඩත්තු කළ හැකි නිසා කවුරුත් කැමැත්තක් දක්වනවා. ඒ වගේම අඩු ජල සම්පාදන ක්‍රම යටතේ භාවිතා කළ හැකි වීම නිසා වැඩි දෙනෙක් මේවා භාවිතයෙන් තම ගෙවත්තේ තණ පිටිය සකස් කර ගැනීමට යොමුවී තිබෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1514 Views
Comments