ඔබේ දරුවන් වෙනුවෙන් ඔබටත් වෙලාවක් නැද්ද

දරුවන් හරියට මල් වගේ. ඒ තරම්ම සුමුදුයි සුසිනිඳු යි. එවැනි මල් වගේ ළමා හිත් තැලීමකට පොඩි වීමකට ලක් වුවහොත් සමහරක් විට එය එම දරුවාගේ ජීවිත කාලය පුරාවටම බලපාන්නක් විය හැකි බව ඔබ දන්නවාද. මෙම ලිපිය හරහා ඒ පිළිබඳව කතා කරමු.
උදෑසන අවදි වන දරුවා පාසලට යන අතර ඉන්පසුව ටියුෂන් පන්ති පසුපස හඹා යයි. සවස නැවත නිවසට ගොඩ වෙන දරුවාට මහන්සිය පසෙකලා පාසලේ ගෙදර වැඩ කිරීමට සිදු වේ. අම්මා විසින් නිදි කිරණ දරුවාට බත් කවයි. බත්පතේ තිබෙන්නේ මොනවාද යන වග වත් එම දරුවා නොදනී. පසුව රාත්‍රී නින්දට යන දරුවාගේ ඊලඟ දවසේත් දින චර්යාව එලෙසින්ම ගෙවී යනු ඇත. ඇත්තෙන්ම ඔහුගේ දරුවාට හිමිවිය යුත්තේ මෙවැනි ජීවිතයක්ද. දෙමව්පියන් සහ අනෙකුත් බලධාරීන් විසින් දරුවන්ට ගොඩනඟා දුන් දින චර්යාවට අමතරව ඔවුන්ගේම දින චර්යාවකට අනුව ජීවත් වීමට ඔවුන්ට හැකි වන්නේ කවදාද. ඇත්තෙන්ම මෙම තත්ත්වය මහත් ඛේදවාචකයකි. අද වන විට දරුවන්ට ළමා කාලයක් නොමැත. එදා වැඩිහිටියන් කුඩා කාලයේ ඔවුන්ගේ ලෝකයේ තිබූ සෙල්ලම් ගෙවල්, දුව පැන සෙල්ලම් කළ වෙල් ඉපනැලි ,වැලි කෝම්පිට්ටු අද දරුවන්ගේ ජීවිතයේ දකින්නට නොමැත. එම සුන්දර දේවල් ද සමග ඔවුන්ගේ සිතේ ඇතිවන්නා වූ සතුට ද ඔවුන්ගෙන් ඈත් වී ගොස් හමාරය. නමුත් මෙහි පවතින තිත්ත ඇත්ත වනුයේ එම හැම සතුටක්ම දරුවන්ගෙන් ඈත් වූයේ දරුවන් නිසා නම් නොවේ. එයට වගකිව යුත්තේ වැඩිහිටියන්ය. අද සමාජය විද්‍යාව හා තාක්ෂණය අතින් දියුණු තත්ත්වයක පවතින බව සැබෑවකි. දරුවන්ට ඔවුන්ගේ සුන්දර ළමා කාලය සහ සතුට නැති වී ඇත්තේ මෙම දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙනි. වර්තමාන මව්වරුන් ද අතීතයේ මෙන් නොවන අතර බොහොමයක් දුරට කාර්යබහුල මව්වරුන් අද සමාජයේ බිහි වී ඇත. දරුවන් සමග එකට හිඳ කතා කිරීමටවත් ඔවුන්ට හැකියාවක් නොමැති තරම්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට පාසල් දරුවන් හා යොවුන් දරුවන් ගෙන් සියයට දහයක් විස්සක් අතර ප්‍රමාණයක් මානසික ගැටළු වලින් පීඩා විඳියි. මෙම තත්වය අනාගතයේදී වැඩි වෙන බවක්ද ඔවුන් විසින් පෙන්වා දී තිබේ. වත්මන් දරු පරපුර තුළ ආතතිය, කාංසාව, විෂාදය වැනි මනෝ වෛද්‍ය ගැටලු බහුලව දක්නට ලැබේ.
වැඩිහිටිවියේ දී මතුවන මානසික රෝග වලින් බාගයක්ම ආරම්භ වන්නේ වයස අවුරුදු 14 ටත් කලින්. දරුවකු පාසල් ගමන ආරම්භ කරන්නේ වයස අවුරුදු පහේදී වන අතර වයසට සරිලන පරිදි දරුවා වර්ධනයෙහි සෑම අංශයකින්ම සංවර්ධනය වී සිටිය යුතුයි. එහෙත් සමහර දරුවන්ට මොලයේ වර්ධනය හා සම්බන්ධ ගැටලු ඇතිවේ. පසු කාලයේදී දරුවාගේ ආත්ම ශක්තිය හීනවීම, ප්‍රචණ්ඩකාරී වීම, යහපත් මිතුරු සබඳතා ඇතිකර ගැනීමට නොහැකිවීම, මත්පැන් මත්ද්‍රව්‍ය වැනි දෙයට යොමු වීම වැනි සංකූලතා ඇතිවිය හැකියි. මෙවැනි තත්ත්වයන් යටතේ දෙමව්පියන් විසින් සිදුකළ යුත්තේ දරුවාගේ තත්ත්වය මුලින්ම තේරුම් ගැනීමයි. ඉන්පසුව එම ගැටලුව දරුවාට තේරුම් ගත හැකි වන පරිදි සරලව තේරුම් කර දිය යුතුය. දරුවන් සමග කායික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍ය පිළිබඳව ද දෙමවුපියන් විසින් විවෘතව කථා කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. යොවුන් දරුවන් තරමක් දුරට මවුපියන්ගෙන් ඈත්වීමත්, යහළුවන්ට ලංවීමත් සාමාන්‍ය දෙයක් බව මවුපියන් වශයෙන් ඔබත් තේරුම් ගත යුතුයි. බොහෝ විට ඔවුන් තමන්ගේ ගැටලු යහළුවන් සමග කතාබහ කළ ද මවුපියන්ගෙන් සඟවන අවස්ථා බොහෝමයක් දක්නට ලැබේ. එමනිසාවෙන් ඕනෑම ගැටලුවක් විවෘතව කථා කිරීමේ හැකියාවක් දෙමව්පියන් සහ දරුවන් අතර ගොඩනංවා ගැනීම දෙමාපියන්ගේ යුතුකමක් සහ වගකීමක් වේ. එවිට දරුවන් තමාට යම්කිසි මානසික හෝ කායික පීඩාවක් ඇත්නම් ඒ ගැන නොසඟවා දෙමව්පියන් සමඟ කතා කිරීමටත් නිරන්තරයෙන්ම පෙළඹෙනු ඇත. මේ සියල්ලක්ම සිදු කිරීමට මවුපියන්ට වෙලාවක් තිබිය යුතුයි. දරුවන් සමඟ එකට කටයුතු කිරීමට තරම් ඔවුන් කාර්යබහුල නොවිය යුතුයි. සැමවිටම ඔබේ දරුවා වෙනුවෙන් අවශ්‍ය කාලය වෙන් කරන්න. නැතහොත් ඔබටත් නොදැනීම ඔබගේ දරුවා ඔබේ අතින් ගිලිහී යනු ඇත. අවසානයේ දී ඒ පිළිබඳව දුක් වෙනවට වඩා අද අදම ඔබේ දරුවා වෙනුවෙන් කාලය වැය කරමින් ඔවුන් වෙනුවෙන් කැපවන්නට මව්පියන් වශයෙන් ඔබත් වගබලාගන්න. එවිට මතුයම් දිනක ඔබේ දරුවාගේ ජීවිතය සුන්දර මල් යහනාවක් වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
536 Views
Comments