ඔබත් මූලික ගර්භණී අවදියේ පසුවන මවක් ද

කාන්තාවකට ඇගේ ජීවිතයේ දී ලැබිය හැකි උතුම්ම පදවිය මවු පදවියයි. එමෙන්ම එම පදවිය ඇයට ලැබෙන මහත් භාග්‍යයකි. බොහෝ මව්වරුන්ට ගර්භනී මුල් කාලයේ දී යම් යම් ශාරීරික සහ මානසික අපහසුතාවයන් ඇතිවීම සාමාන්‍ය කරුණකි. නමුත් එම අපහසුතාවයන් පිළිබඳව දැනුවත් වී සිටීම ගර්භනී මව්වරුන්ට ඉතාමත් වැදගත්.
ගර්භනීත්වය සමඟ කාන්තාවකගේ ශරීරයේ හෝමෝන බොහෝමයක් වෙනස් වීමකට ලක්වේ. එමෙන්ම රුධිර වාහිනී පද්ධතියේ ද වෙනස්කම් ඇතිවන අතර ශ්වසන මාර්ගයේ ද යම් යම් වෙනස්වීම් සිදුවේ. මෙම තත්ත්වයන් බොහෝ විට තාවකාලික වන අතර දරු ප්‍රසූතියෙන් පසුව පහව යයි. ගර්භනී මුල් කාලයේ ඇතිවන අපහසුතා වශයෙන් වමනය සහ ඔක්කාරය, gastritis ඇතිවීම, මල බද්ධය, යටි බඩ වේදනාව, කොන්දේ කැක්කුම, නහර ගැට ගැසීම, අත සහ වැලමිට වේදනාව, මුත්‍රාශය සම්බන්ධ ගැටලු සහ යෝනි ශ්‍රාවය ඇතිවීම යනාදිය දැක්විය හැකියි. විශේෂයෙන්ම පළමු මාස තුන ඇතුලත වමනය සහ ඔක්කාරය ඇතිවීම සුලබව දක්නට ලැබෙන ලක්ෂණයකි. ගැබ් ගැනීමේදී ඇතිවන HCG හෝමෝනය නිසාවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වේ. තවද ඔබ කුස තුළ දරා සිටින්නේ නිවුන් දරුවන් නම් එම තත්ත්වය යම්තාක් දුරට වර්ධනය වීමක්ද සිදුවිය හැකියි. නමුත් ඔබට වැඩිපුර වාර ගණනක් වමනය සිදුවන්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යෑම අත්‍යවශ්‍යවේ. මෙහිදී ගර්භණී මවක් විසින් කුඩා ආහාරවේල් වැඩි වාර ගානක් ගැනීම සුදුසුයි. කුස පිරෙන්න ප්‍රධාන වේල් ගැනීමෙන් වැළකිය යුතුයි. තවද ගැස්ට්‍රයිටීස් ඇති වීම ගර්භණී අවදියේ පසුවන කාන්තාවන් තුළ දැකිය හැකි සුලබ ලක්ෂණයකි. එයට හේතුවන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිසා ගලනාලය හා ආමාශය අතර ඇති කපාටය ඉහිල් වීමයි. එවිට ආමාශයේ පවතින acid උඩට ඒමක් සිදු වේ.
එවැනි තත්ත්වයක් පවතින ගර්භණී කාන්තාවක් විසින් නිදාගන්නා විට හිස සහ පපුව කොටස උඩට සිටින සේ කොට්ට කිහිපයක් තබා නිදා ගැනීමෙන් මෙම තත්ත්වය යම්තාක් දුරට පාලනය කර ගැනීමට හැකියාවක් ඇත. තවද මිරිස්, තුනපහ සහ තෙල් අධික ආහාර ගැනීමෙන් ද වැළකිය යුතුයි. තවද බොහොමයක් මවුවරුන්ට ගර්භනී මුල් කාලයේදී යටි බඩ වේදනාවක් ඇති වේ. ඇතැම් මව්වරුන්ට සුළු වශයෙන් ඇතිවන අතර තවත් අයට වැඩි වශයෙන් මෙම කැක්කුම ඇතිවේ. එහිදී වෛද්‍යවරුන් විසින් වේදනානාශක බෙහෙත් වර්ග නියම කරනු ලබයි. තවද කොන්දේ කැක්කුමක් ද ඇතිවීමට හැකි අතර එවැන්නක් සිදු වන්නේ හෝමෝන නිසාවෙන් අස්ති අතර ඇති තන්තු මෘදු වීමෙනි. එසේම දරු ගැබ වැඩෙන විට උදර බර ඉදිරියට නැමීම වළක්වා ගැනීමට කොන්ද දරන උත්සාහය නිසාත් මෙසේ වේදනාවක් ඇතිවේ. වේදනා නාශක ආලේප කිරීම මගින් සහ භෞත චිකිත්සක ව්‍යායාම ලබා ගැනීම මගින් මෙම තත්වය සමනය කර ගැනීමට හැකියාවක් ලැබේ. තවද මව්වරුන්ට අතේ සහ වැලමිට වේදනාවක්ද ගර්භණී සමයේදී ඇති වේ. මෙසේ සිදුවන්නේ පටකවල සිදුවුන ඉදිමීම නිසා වැලමිට ආශ්‍රිතව ඇති ස්නායු තද වීමෙනි. තවද මුත්‍රා කිරීමේ වාර ගණනද වැඩි වීමක් සිදුවේ. එසේ සිදු වන්නේ
ගර්භාෂයෙන් මුත්‍රාශය තෙරපීම නිසා වකුගඩු මඟින් මුත්‍රා පෙරීම වැඩි වීම නිසාය. ගර්භණී අවසාන කාලයේදී කාන්තාවක් කහින විට කිවිසුම් යන විට මුත්‍රා සුළු වශයෙන් හෝ නොදැනීම පිටවීමක් ද සිදුවන අතර එය ද සුලබ සිද්ධියකි. මෙවැනි තත්වයක් පවතින මව්වරුන් විසින් කෝපි පානය කිරීම අත්හැරිය යුතු අතර වැඩිපුර ජලය පානය කිරීමට උනන්දු වීම ඉතා වැදගත්. මෙවැනි අපහසුතාවන්ට අමතරව පියයුරු වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා, නින්ද නොයාම ,කෙණ්ඩා පෙරළීම වැනි සුළු සුළු තත්ත්වයන්ද ගර්භනී කාලයේ දී මව්වරුන්ට විඳීමට සිදුවෙයි. නිසි සැලකිල්ලෙන් පසුවීම සහ අවශ්‍ය වන්නේ නම් වෛද්‍ය වරයෙකු වෙත යාම වඩාත් යෝග්‍ය වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
6358 Views
Comments