ගැබිනි මවට සහ දියණියට ගවුම් නිර්මාණ

ගැබිනි මවක් රැකියාවක් කරන්නේ නම් ඇයට ගතට පහසු ඇඳුම් කිහිපයක්ම තිබිය යුතුයි. ඇය වෙනුවෙන් අලුත් මෝස්තරයේ ගර්භණී ඇඳුමක් මෙන්ම අවුරුදු දෙකහමාරක් වයසැති පුංචි දියණියට සරල ගවුමක් මසා ගන්නා ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම.
ගැබිනි මවට ගවුම -
මුලින්ම සාමාන්‍ය ඉදිරිපස පතරොම ඔපනැලි රහිතව පිටපත් කරගන්න. අවශ්‍ය උස ඉනේ සිට පහළට ලකුණු කරන්න. වාටියෙහි පළල වශයෙන් ඉනෙහි මිම්මට අඟල් දෙකක් පහල වාටියෙහි පළල වැඩි කිරීමට අඟල් දෙකක් පිටතට ලකුණු කරන්න. පහල අංශය අඟල් එකහමාරක් ඉහලට ගෙන වාටිය හැඩකර ඇඳගන්න. ඉදිරිපස රවුම් කර හැඩයද ඇඳගන්න. පෙර මැද සිට අඟල් එකහමාරක් පළල රවුම් York කොටසක් ඇඳගන්න. එම කොටසට අඟල් එකහමාරක් රැලි වාසි ඇතුළු කර ගත යුතුයි. මෙම කොටස පිටපත්කර සමාන කොටස් හතරකට වෙන් කර රැලි වාසි සඳහා කොටස් අතරෙහි අඟල් එකහමාර බැගින් තබා ගන්න. රැලි පටිය සකස්කර ඉදිරිපසට පේසිමක් සහිතව අල්ලාගන්න.
ඉන් අනතුරුව පිටුපස ගවුමද ඉදිරිපසට මෙන් සකස් කරගන්න. දෙවෙනි රූප සටහන අනුව පිටුපස පතොරම සකස් කරගන්න. ඉදිරිපස අංශයෙන් සාක්කු යොදාගන්න. ඉනේ සිට අඟල් හතරක් පහලින් ලක්ෂයක් ලකුණු කර ඇතුලට සාක්කු හැඩයක් ඇඳගන්න. එම සාක්කු කොටසෙහි සාක්කු කටද ඇඳගන්න. මෙවැනි කොටස් දෙකක් කපා වටේට නොමසා මසාගන්න. පසුව අංශයට අල්ලාගන්න. අත සඳහා සාමාන්‍ය අත යොදාගන්න. පිටුපස කරට ද පේසිමක් සකස් කරගන්න. අවසානයේ දී ඉදිරිපස කරෙහි පැත්තට බෝ එකක් සකස් කර අල්ලා ගන්න.
දියණියට ගවුම -
මුලින්ම ළමා පතරොම පිටපත් කරගන්න. ඒලයින් ගවුමෙහි හැඩයට ඉන වෙන් නොකර අංශය ඇඳගන්න. ඉන්පසුව ඉදිරිපස කර හැඩය ඇඳගන්න. අත් කට සිට අඟල් එකහමාරක් පහත් කර පෙර මැදට රේඛාවක් අදින්න. මෙම රේඛාවෙන් කපා ඉදිරිපස සඳහා වාසි තබාගන්න.
පිටුපස York කොටස ඇඳගැනීමට ඉදිරිපස York කොටසින්ම පුළුවනි. කර අඟල් දෙකක් ඉහලට ගෙන උරහිස් කොනට සම්බන්ධ කරන්න. ඉන්පසුව මැහුම් වාසි තබාගන්න. පහළ කොටස ගෙන පෙර මැද ඉදිරියෙන් අංකල් හතරක් තබා එම රේඛාව රෙද්දේ නැම්ම පැත්තට තබන්න.
පහළ කොටස සඳහා යොදාගත් පතරොමම සාය කොටස පිටුපස සඳහාද යොදා ගන්න. අංකල් තුනහමාරක් පළල පටියක් කපාගෙන එක් පැත්තක හීනි වාටිය මසා ගන්න. අනෙක් පැත්ත රැළි කරන්න. මෙම රැලි පටිය පිටුපස ඉන වටා ද අල්ලා ගන්න. අත සඳහාද රැලි පටියක් සකස් කරන්න. එම රැලි පටිය අත් වටා අල්ලාගන්න. පිටුපස York කොටසෙහි පමණක් විවරයක් තබා ඇත.
ඔබත් ගර්භනී මවක් නම් ඔබට ද ඔබගේ දියණියට ද මෙම අලංකාර ගවුම් නිර්මාණය කර ගැනීමට හැකියාවක් පවතී. බලන්න ඒවා කෙතරම් අපූරුද කියලා. මහා පරිමාණයෙන් මැසීමට හැකියාවක් පවතී නම් ගවුම් අලෙවිකර ආර්ථික වශයෙන් ලාබ උපයන්නට ද ඔබට පුළුවනි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
2656 Views
Comments