සෞඛ්‍යවත් වටපිටාවක් බිහිවන්නට නම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
22

සෞඛ්‍යවත් වටපිටාවක් බිහිවන්නට නම්

සෞඛ්‍යවත් වටපිටාවක් බිහිවන්නට නම්

පුද්ගලයන් වශයෙන් අප සෑමදෙනාම කිනම් හෝ පරිසරයක ජීවත් වෙති. අවට පරිසරය සමඟ සම්බන්ධ නොවෙමින් කිසිදු පුද්ගලයකුට ජීවත්විය නොහැක. මක්නිසාද පුද්ගල ජීවිතයකට අවශ්‍ය සියලුම අවශ්‍යතා සහ වුවමනා සපුරා ගත යුත්තේ අවට පරිසරයෙන් වන බැවිනි. ඔබ ජීවත් වන ඔබ අවට පරිසරය සෞඛ්‍ය සම්පන්න ද. සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් බිහිවීමට නම් කිසියම් ලක්ෂණ කීපයක් එම වටපිටාව තුළ නිර්මාණය වී තිබිය යුතුයි. එම ලක්ෂණ පිළිබඳව පහතින් දැනුවත් වෙමු.

පිරිසිදු වාතය-
නිවාස සෑදීමේදී ඒ තුළට ප්‍රමාණවත් ලෙස පිරිසිදු වාතය ලැබෙන සේ කවුළු සහ ගෙමිදුල ඇතුළත් කළ යුතුය. මිදුලේ ගස් කොලන් වැවීමෙන් පිරිසිදු වාතය ලැබෙන අතර උෂ්ණත්වය ද පාලනය වීමක් සිදුවේ. පොලිතීන් පිළිස්සීම වැනි ක්‍රියාවලින් සෞඛ්‍යයට අහිතකර වායු එක්වන බැවින් ඉන් වැළකීම ද සෞඛ්‍යවත් වටපිටාවක් බිහි කරගැනීමට දායක වේ. අපිරිසිදු වාතය ආශ්වාස කිරීමෙන් ශ්වසන පද්ධතියේ රෝග ඇතිවන අතර විසින් නිවස තුල සහ අවට පිරිසිදු වාතය සහිත පරිසරයක් පවත්වා ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.

පිරිසිදු ජලය-
පිරිසිදු පානීය ජලය භාවිතයෙන් පාචනය වැනි බෝවන රෝග ඇතිවීම වළක්වා ගැනීමට පුද්ගලයන්ට හැකියාවක් ලැබෙයි. මේ සඳහා ඔබ පානයට ගන්නා ජලය උතුරවා නිවා ගත යුතුයි. වතුර ෆිල්ටර් භාවිතයෙන් ඇතැම් විෂබීජ මෙන්ම විෂ රසායන ද්‍රව්‍ය ද පෙරා ඉවත් කළ හැකිය. ඔබ අවට පරිසරයෙන් පිරිසිදු ජලය ලබා ගැනීමට හැකියාවක් පවතී නම් එයද සෞඛ්‍ය සම්පන්න පරිසරයකි.

සෞඛ්‍යවත් ආහාර -
ආහාර පරිභෝජනයේ දී අධික ලෙස සීනි ලුණු සහ තෙල් අඩංගු නොවන ආහාර තෝරා ගත යුතුයි. පලා වර්ග, එළවළු ,පලතුරු දෛනිකව ආහාරයට එක් කිරීමද අත්‍යවශ්‍ය වේ. පවුලේ විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති දරුවන්ගේ සහ ගර්භනී මව්වරුන්ගේ අමතර පෝෂණය සඳහා ප්‍රෝටීන්, කනිජලවන ඇතුළත් වන ලෙස ආහාර පිළියෙල කිරීම සඳහා සැලකිලිමත් විය යුතුය. නව යොවුන් වියේ පසුවන අයටද ප්‍රෝටීන් සහ යකඩ අවශ්‍යතාව වැඩි වන අතර පවුලේ සියලු දෙනාම සමබර ආහාර වේලක් ලබා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. එවැනි පෝෂදායී ආහාර ලබා ගැනීමට හැකියාවක් පවතියි නම් ඔබ ද ජීවත් වන්නේ සෞඛ්‍යවත් වටපිටාවකයි.

සනීපාරක්ෂක පහසුකම්-
සෞඛ්‍ය ආරක්ෂිත වැසිකිලි පහසුකම්, කානු පද්ධතිය ක්‍රමවත්ව පවත්වා ගැනීම සහ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම මගින් වටපිටාව පිරිසිදුව තබාගත යුතුය. වැසිකිලි දිනපතා විෂබීජ නාශක යොදා සේදීම ද අවශ්‍ය වෙයි. එමගින් රෝග බෝවීම වලක්වා ගැනීමට පුද්ගලයන්ට හැකියාවක් ලැබේ.

පිරිසිදු වටපිටාව-
සතියකට වරක්වත් ගේදොර අවට ප්‍රදේශය පිරිසිදු කිරීමෙන් මීයන් වැනි සතුන් බෝවීම වැළකෙන අතර සර්පයන් රැඳී සිටිය හැකි ස්ථාන විනාශ වේ. එමෙන්ම ජලය එක්රැස් වන ස්ථාන විනාශ කිරීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම ද අවම වේ. තවද ඔබ අවට පරිසරය ප්‍රසන්න පරිසරයක් නම් එය ඔබගේ මානසික ප්‍රබෝධයටද හේතු වනු ඇති.

ප්‍රමාණවත් ඉඩකඩ-
පවුලේ සාමාජිකයන් සංඛ්‍යාවට ප්‍රමාණවත් වන ලෙස නිදන කාමර සහ නිවසේ අනෙකුත් අංග පැවතිය යුතුය. එමගින් පිරිසිදු වාතාශ්‍රය ලැබෙන අතර ප්‍රසන්න පරිසරයක්ද නිර්මාණය වේ.

නිස්කලංක බව-
ඔබ නිවස ඝෝෂාකාරී බවින් තොර විය යුතු අතර නිවසේ වූ රූපවාහිනී යන්ත්‍ර සහ ගුවන්විදුලි යන්ත්‍ර යනාදියේ ශබ්ද අසල්වැසියන්ට බාධා නොවන මට්ටමක පැවතිය යුතුයි.

අනතුරුවලින් තොරවීම-
නිවස සහ ඒ අවට පරිසරය අනතුරු වලට ඉඩක් නොලැබෙන ලෙස පැවතිය යුතුය. විදුලි රැහැන් විදුලි උපකරණ ආදිය ආරක්ෂිතව පවත්වා ගැනීම, අනාරක්ෂිත ළිං වළවල් වැනි ස්ථාන ආවරණය කොට තැබීම, සර්පයන් වැනි සතුන් බො නොවන ලෙස නිවස සහ අවට පිරිසිදුව තබා ගැනීම ඔබ විසින් සිදුකළයුතු වේ.
මෙවැනි ලක්ෂණ වලින් පරිපූර්ණ වූ භෞතික පරිසරයක් නැත්නම් වටපිටාවක් ඔබටද හිමිවී ඇත්නම් එය මහත් භාග්‍යයකි. එවැනි වටපිටාවක ජීවත් වන ඔබට ඔබගේ නිරෝගී දිවි පැවැත්ම ආරක්ෂා කර ගැනීමට එතරම් අපහසු නොවනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

1381 Views

Comments

arrow-up