ඉහළ යන මානසික බිඳවැටීම්

මානසික බිඳ වැටීම් තරමක් බහුලව වර්තාමාන ලෝකය තුළ දක්නට ලැබෙන අතර සියළු දෙනාම එවැනි තත්ත්වයන් පිළිබඳව උනන්දුවකින් හා දැඩි අවධානයකින් යුතුව කටයුතු කිරීම ඉතාම වැදගත් වේ. පහත දැක්වෙන්නේ මානසික බිඳ වැටීමකදී ඕනෑම පුද්ගලයකු තුළ නිතර මතුවන අනතුරු ඇඟවීමේ ලක්ෂණ කිහිපයක්.
• ඔබට මෙතෙක් සතුට ගෙනදුන් විනෝදය පිණිස යෙදුන ක‍්‍රියාකාරකම් සහ වෙනත් කටයුතු පිළිබඳ වෙනදා තරම් සැලකිල්ලක් නොතිබීම.
• වෙනදාට වඩා සිතේ ස්වභාවය මැඩ පවත්වා ගැනීම හෝ තම අදහස් හුවමාරුව හා කථාබහ නොමැතිකම
• රැකියාවේ හෝ පාසලේ වැඩ කටයුතු පිළිබඳව නොසැලකිලිමත්වීම.
• පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව මෙතෙක් දැක්වූ සැලකිල්ල හීනවීම.
• හැසිරීමේ ඇතිවන වෙනස්කම්
• නිතර හුදකලාවීම
• ඉක්මණින් කේන්ති යාම හා නිතර අඬා වැටීම
• නින්ද සම්බන්ධ ගැටලු
• නුරුස්සන බව
• කෑම රුචිය අඩුවීම
ඔබේ සමීපතමයකුගේ මෙවැනි මුලික අනතුරුදායක ලක්ෂණ දුටුවිට හැකි ඉක්මනින් විශේෂඥ වෛද්‍යවරයකුගේ සහාය ලබාගැනීමට අමතක නොකළ යුතුය. සැමවිටම මතක තබාගත යුත්තේ මානසික බිඳවැටීමක් හෝ එවැනි මානසික ගැටලුවකට ප‍්‍රතිකාර ගැනීම තමාටවත් තම පවුලේ අයට කැළලක් අවමානයක් නොවන බවයි. මෙම ගැටලු ඉතා පහසුවෙන් විසඳාගත හැක්කේ මේවාට නිසි අවස්ථාවේ සුදුසු ප‍්‍රතිකාර උපදෙස් ලබාගැනීමෙනි.
යම් පුද්ගලයකු තුළ මෙවැනි මූලික අනතුරුදායක ලක්ෂණ දුටුවිට අදාල පිලියම් නිසි පරිදි නොයෙදීමෙන් හා මානසික අවපීඩනය නොසලකා හැරීමෙන් ඒවා උග‍්‍ර මානසික රෝග දක්වා වර්ධනය වී සියදිවි නසා ගැනීමකින් කෙළවරවීමට ඉඩ තිබේ. කිසිඳු පුද්ගලයකු සියදිවි නසා ගැනීම ගැන කල්පනා කිරීමට හෝ සියදිවි නසා ගැනීමට තැත් කිරීම මෙවැනි හේතු නිසා නොකළ යුතුය. විශේෂයෙන්ම මානසික අවපීඩනයට ගොදුරු වන දරුවාගේ ජීවන කුසලතා වැඩීම කණ්ඩායම් ක්‍රීඩා සහ කණ්ඩායම් ක‍්‍රියාකාරකම් මනා පිටුවහලකි. මේ සඳහා රට පුරා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර මනෝ වෛද්‍ය විශේෂඥයන් - විශේෂඥ උපදෙස් පිළිබඳ පුහුණුව ලැබූ පුද්ගලයන් මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික විද්‍යායතනය, මුල්ලේරියාව හා කොළඹ ජාතික රෝහල ශික්ෂණ රෝහල් මහ රෝහල් හා දිස්ත‍්‍රික් මට්ටමේ මූලික රෝහල්වල මෙම මනෝ වෛද්‍ය සායන පහසුකම් ඇත. මානසික සෞඛ්‍ය පිළිබඳ මීට අමතරව දිස්ත‍්‍රික් මට්ටමේ මේ පිළිබඳ විශේසඥ වෛද්‍යවරුන් රෝහල්වල සිටී. එසේම පාසල් හා නව යොවුන් සෞඛ්‍ය ඒකකය - පවුල් සෞඛ්‍ය කාර්යාංශය, සුමිත‍්‍රයෝ වැනි ආයතන මෙම සේවාවන් ලබාදෙන ස්වේච්ඡා ආයතන අතර ප්‍රධාන වේ.
මේ නිසා අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ජීවන කුසලතා වර්ධනය කරගැනීමට කුඩාකල සිට හැමවිටම දරුවා උනන්දු කරවිය යුතු අතර වැඩිහිටි සියළු දෙනාද තම මානසික සෞඛ්‍ය පිළිබඳ දැඩි අවධානය යොමුකළ යුතුය.
by Dilki Shamani
Photo source : Internet
829 Views
Comments