ගෙදර දොර වැඩවලට උදව් වන ගැට සහ බැමි

ඔබේ නිවසේ එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමේදී එම වැඩ කටයුතු වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් ඉටු කරගැනීම සඳහා විවිධ වර්ගයේ ගැට සහ බැමි වර්ග යොදා ගැනීමට ඔබට සිදුවේවි. එමනිසාවෙන් ගැට සහ බැමි පිළිබඳව සරල හෝ අවබෝධයක් ලබා තිබීම ගෘහණියන් වශයෙන් ඔබට ඉතාමත් වැදගත්. එදිනෙදා ජීවිතයේදී අප ලණු යොදා ගනිමින් විවිධ දේවල් ගැට ගැසීම, බැමි යෙදීම වැනි කටයුතුවල නිරත වෙයි. සමහර අවස්ථාවන් වලදී වඩාත් දිග ලනුවක් අවශ්‍ය වූ විට ලණු කැබලි දෙකක් එකට එකතු කර ගැට ගසා ගැනීමට අපට සිදු වේ. එවන් අවස්ථාවකදී නිවැරදි ලෙස ගැටය නොදැම්මොත් ලණුවෙ දෙකෙලවරින් ඇදීමේදී ගැටේ බුරුල් වී ලිහීයාමට පුළුවනි. එසේම නිවැරදි ලෙස ගැට සහ බැමි යොදා නො ගත්තොත් අනතුරු අවස්ථාවන්ට මුහුණ දීමටද සිදුවේ. ඇතැම් අවස්ථාවල පහසුවෙන් නැවත ගැලවීමට හැකි ගැට යෙදීමට සිදුවේ. මෙසේ අවස්ථාවට සහ කාර්යයට උචිත වන ලෙස ගැට යොදා ගැනීමට දැනුමක් අප සතු විය යුතුයි. අවශ්‍ය කාර්යයට ඔරොත්තු දිය හැකි ලෙස තිබීම සහ අවශ්‍ය අවස්ථාවලදී පහසුවෙන් ගැලවීමට හැකි වීම ගැටයක තිබිය යුතුයි. බහුලව යොදාගැනෙන ගැට සහ බැමි වර්ග කිහිපයක් පිලිබදව දැනුවත් වෙමු.
1. පිරිමි ගැටය
එක සමාන ලණු දෙකක් එකට ගැටගැසීමට පිරිමි ගැටය යොදාගත හැකියි. එමෙන්ම උරමාවක් ගැනීමට යොදාගනු ලබන්නේද මෙම ගැටයයි. පිරිමි ගැටයේ ඇති ලක්ෂණ ලෙස ඉක්මනින් හිර කර ගැනීමට හැකි වීම, ඉක්මනින් බුරුල් කර ගැනීමට හැකිවීම සහ ගැටයේ පැතලි ස්වභාවය සඳහන් කළ හැකියි. මෙම ගැටය හිර කර ගැනීමට අවශ්‍ය වූ විට එක් එක් පැත්තේ ඇති කෙටි ලණු පොට සහ දිග ලණු පොට එකට අල්ලා දෙපසට ඇදිය යුතුයි. එසේම ගැටය බුරුල් කර ගැනීමටද දෙපැත්තේ ඇති ලණු පොටවල් දෙක දෑතින් අල්ලා ඉදිරියට තල්ලු කිරීම කළ යුතුයි.
2. රුවල් ගැටය
ඝනකමින් අසමාන ලණු යා කිරීමට රුවල් ගැටය බෙහෙවින් ප්‍රයෝජනවත්. මෙහිදී පළමුව එක් කඹයක කෙළවරක් නමා පුඩුවක් ආකාරයට සකස් කර ගත යුතුයි. එම පුඩුව වම් අතේ තබාගෙන අනෙක් ලණුවේ කෙලවර දකුණු අතට ගත යුතුයි. දැන් දකුණු අතේ ඇති ලණු කෙළවර සෑදුනු පුඩුවේ යටින් තබා පුඩුව ඇතුළතින් ඉහලට ගැනීම කළ යුතුයි. එලෙස උඩින් ගත් ලණුවේ කෙළවර කුඩුවේ ලණු පොටවල් දෙක යටින් ගෙන එම ලණුවේ ම පුඩුව ඇතුළතින් රිංගපු කොටසට යටින් ගෙන ලණු පොටවල් හතරම දෙපසට ඇදීම කළ යුතුයි.
3. නොලිස්සන තොන්ඩු ගැටය
නොලිස්සන තොන්ඩු ගැටය අවදානම් සහිත කටයුතුවලදී ජීවිතාරක්ෂාව සඳහා ආරක්ෂිත ස්ථානයකට සිරුර සම්බන්ධව තැබීමට යොදා ගැනේ. උදාහරණ ලෙස විශාල ගස් වල අතු කැපීමට ගස් මුදුනට යාමේ දී මෙය යොදා ගැනේ. යමක් තදින් ඇද ගැටගැසීමට අවශ්‍ය වූ විට ද මෙම ගැටය භාවිතා කිරීමට පුළුවනි. උදාහරණ ලෙස රෙදි වැලක් ගැට ගැසීම දැක්විය හැකියි.
4. කොස්පට්ටා ගැටය
ලීයකට තදවනසේ කඹයක් බැඳ ගැනීම සඳහා කොස්පට්ටා ගැටය ප්‍රයෝජනයට ගත හැකියි. මෙහි ඇති නොලිස්සන ස්වභාවය මෙම ගැටයෙ වැදගත්කමකි. එසේම මෙම ගැටය ඇදෙන්න ඇදෙන්න හිරවෙන ගැටයක් වෙයි. මෙය බාල්දි කොක්කට දැමීමටත් පලංචි ගැටගසා ගැනීමටත් යොදා ගන්නට පුළුවනි.
5. හතරැස් බැම්ම
ලී කඳන් දෙකක් එකට බැදීමට යොදාගත හැකි බැම්මක් ලෙස හතරැස් බැම්ම හඳුන්වන්නට පුළුවන්. එදිනෙදා ජීවිතයේදී සරුංගලයක් සෑදීමට වෙසක් කූඩුවක් සෑදීමට මෙම හතරැස් බැම්ම යොදා ගනී.
6. කතුරු බැම්ම
කතුරු බැම්ම යනු ලී කඳන් දෙකක් එකට බැඳීම සඳහා යොදාගත හැකි බැම්මකි.
එදිනෙදා ජීවිතයේදී වැඩ කටයුතු පහසු කරගැනීම සඳහා ගෘහණියන්ට විවිධ ගැට සහ බැමි වර්ග යොදා ගැනීමට පුළුවනි. ගැට සහ බැමි වර්ග යෙදීමේදී ඒවා අවස්ථාවට සහ කාර්යයට උචිත වන ලෙස සකස් කරගත යුතු වේ.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
2642 Views
Comments