නැවුම් ඇසකින් විසිත්ත කාමරය දෙස බලමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

නැවුම් ඇසකින් විසිත්ත කාමරය දෙස බලමු

නැවුම් ඇසකින් විසිත්ත කාමරය දෙස බලමු

ඔබගේ නිවසට කිසියම් කෙනෙකු ඇතුළු වන විට මුලින්ම නෙත ගැටෙන්නේ ඔබගේ නිවසේ විසිත්ත කාමරයයි. ඔබට ඇත්තේ සුන්දර මෙන්ම ආකර්ෂණීය විසිත්ත කාමරයක් නම් දකින්නන් ඔබව සහ ඔබගේ නිවස අගය කරාවි. විශේෂයෙන්ම නිවසක් හැඩ වැඩ කර ගැනීම වෙනුවෙන් විශාල උනන්දුවක් දක්වන්නෙ ගෘහණියන් විසිනි. විසිත්ත කාමරය නිතර පිරිසිදුව තබා ගැනීම, ඊට සරිලන බිත්ති සැරසිලි එකතු කරගැනීමට අමතරව ගෘහණියන් වශයෙන් ඔබ පිළිපැදිය යුතු තවත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම.

 

 


ඔබ විසින් මුලින්ම කළ යුත්තේ ඔබගේ නිවසට ගැලපෙන අයුරින් ඔබගේ විසිත්ත කාමරය සකසා ගැනීමයි. නිවසේ අලංකාරය සඳහා වැඩි මුදලක් වැය කළ නොහැකි නම් රාමු කරන ලද පින්තූර බිත්තියේ එල්ලීමට ඔබට පුළුවනි. ඔබ සාමාන්‍යයෙන් මුදල් යහමින් තිබෙන අයෙක් නම් තමන්ගේ කැමැත්ත පරිදි විවිධ අලංකරණ විසිත්ත කාමරය වෙනුවෙන් කර ගැනීමට ඔබට පුලුවන්. තවද නිවසට ස්වභාවික ආලෝකය හැකිතරම් ලැබෙන ලෙස නිවස ගොඩනගා ගැනීම ඉතාමත් වැදගත්. නිවාස සැලසුම් ඇදීමේදී සාලයට නැගෙනහිර සහ බස්නාහිර දිශාවලින් ජනෙල් දමන්නේ නැත. ඊට හේතුව අධික හිරු එළියයි. එබැවින් උතුර-දකුණ වැනි දිශාවලින් ජනෙල් ගැනීම වඩාත් සුදුසුයි. එමෙන්ම නිවසට එන ඉර එළිය මුවා කිරීමට ජනෙල් වලට බටපැලලි සහ තිර රෙදි යොදා ගත හැකියි. විසිත්ත කාමරය සඳහා ගෘහ භාණ්ඩ සැලසුම් කිරීමේදී ද කාන්තා ඔබ වැඩි අවධානයක් දැක්විය යුතුය. නිවස තුල ඉඩකඩ අඩු වුවත් වැඩි වුවත් ඇතුලත තිබෙන ඉඩ ප්‍රමාණය ප්‍රථමයෙන්ම ක්‍රමවත්ව පෙනෙන අයුරින් සකස් කරගත යුතුයි. ඔබට ඇත්තේ ප්‍රමාණයෙන් කුඩා විසිත්ත කාමරයක් නම් විශාල ගෘහභාණ්ඩ එක්කර ගැනීම නොකළ යුතුයි. ඉඩකඩ වැඩි විසිත්ත කාමරයක් පවතින්නේ නම් තරමක් විශාල භාණ්ඩ යොදා ගැනීමේ වරදක් නැත. නිවසකට අලංකාරය ගෙන එන්නේ එම නිවසේ විසිත්ත කාමරයේ තබන ගෘහ භාණ්ඩ වලින් පමණක්ම නොවේ. එම සුන්දරත්වය මැවෙන්නේ දොර රෙදි, බුමුතුරුණු, මේසය යන ආදිය සියල්ලම එකතුවෙනි. එමෙන්ම ඔබගේ විසිත්ත කාමරය වර්ණ ගැන්වීමේ දී ද වර්ණ පිළිබඳ සැලකිලිමත් වෙමින් සිදු කරන්නට හැකි නම් එය ඉතාමත් යෝග්‍යයි. කුඩා ඉඩක් ඇති විසිත්ත කාමර ආලේප කිරීමේදී තද වර්ණ වලට යාම නුසුදුසුයි. එවිට විසිත්ත කාමරය ඇතුළත හිරවී ඇති ස්වභාවයක් පෙන්නුම් කළ හැකියි. ශ්‍රී ලංකාව වැනි රටවලට කාන්තිමත් සුදු පැහැය ආලේප කරනවාට වඩා ක්‍රීම්, පැහැයෙන් අඩු සුදු තීන්ත ආලේප කිරීම වඩාත් සුදුසුයි. එසේ නැත්නම් විසිත්ත කාමර සඳහා එක් බිත්තියකට පමණක් තද වර්ණයක් ආලේප කිරීමට ද පුළුවනි. එවිට ලා පැහැති බිත්ති සමග එකතු වූ විට විසිත්ත කාමරය වඩාත් වර්ණවත්ව පෙනෙනු ඇත. මෙවැනි කරුණු පිළිබඳව සැලකිලිමත් වීම හරහා ඔබටත් වඩාත් ආකර්ශනීය මෙන්ම සිත් ඇදගන්නාසුලු විසිත්ත කාමරයක් ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

989 Views

Comments

arrow-up