අර්ශස් රෝගය පිළිබඳව ඔබ දැනුවත්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
02

අර්ශස් රෝගය පිළිබඳව ඔබ දැනුවත්ද

අර්ශස් රෝගය පිළිබඳව ඔබ දැනුවත්ද

වර්තමානයේ දී කිසියම් හෝ රෝගී තත්වයකින් පීඩා නොවිඳින පුද්ගලයෙක් දැකගැනීම නොමළ ගෙයකින් අබ මිටක් ලබාගන්නවා වැනි තත්වයකි. ඇත්තෙන්ම මෙවැනි තත්ත්වයක් ඇති වී ඇත්තේ කුමක් නිසාද. බහුල වශයෙන්ම මෙවැනි තත්ත්වයකට මංපෙත් විවර වී ඇත්තේ පුද්ගලයන් තුළ පවතින නොසැලකිලිමත්භාවය සහ වැරදි චර්යා රටාවන් නිසාවෙන් විය හැකිය. නොදැන කරන වැරදි නිසා කුඩා කාලයේ සිට රෝග වලට ගොදුරු වී පසුකාලීනව මහත් පීඩා විඳින පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතී. එවැනි බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි අර්ශස් රෝගය.

 

අර්ශස් රෝගය යනුවෙන් ඇසුණු විට අප සිතන්නෙ වයස් ගතවීමත් සමගම වැලඳෙන රෝගයක් ලෙසයි. නමුත් මෙම රෝගයට මූලික වන හේතු ඇතැම්විට ආරම්භ වන්නේ කුඩා කාලයේදීම බව ඔබ දන්නවාද. මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වශයෙන් තදබල ලෙස කේන්ති යාම, මුනින් අතට නිදා ගැනීම හැර වෙනත් ඉරියව්වකට නිදා ගැනීමට නොහැකි වීම, නිසි පරිදි මලපහ පිට නොවීම, ඇවිදීමේ අපහසුතා ඇතිවීම, ගුදයෙන් රුධිරය පිටවීම, අර්ශස් ගෙඩි ඇතිවීම, වේදනාකාරී බව යනාදිය පෙන්වා දිය හැකියි. අර්ශස් රෝගය ඇතිවීමට නොයෙකුත් කරුණු බලපායි. මූලික වශයෙන්ම ජානමය තත්ත්වයන් මත මෙම රෝගය ඇතිවිය හැකි අතර ඊට අමතරව කාර්යබහුල ජීවන රටාවේ බලපෑම නිසා කුඩා කාලයේ සිටම දරුවෙකු මෙම තත්වයට පත් වීමට ද පුළුවනි. මෙහිදී විශේෂයෙන්ම මවුපියන් සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. දරුවන් උදෑසනම අවදි කරවා ඉතා කලබලකාරී පරිසරයක දරුවාට නිසි ආකාරයෙන් වැසිකිලි අවශ්‍යතාවය පවා ඉටු කර ගැනීමට දෙමාපියන් ඉඩ නොදෙයි. ඇතැම් මවුවරුන් විසින් උදේ කාලයේ දී දරුවාට වැසිකිළි යාමට අවශ්‍ය වුවත් එය නොකරන ලෙස තරවටු කරයි. එමනිසාවෙන් පාසලේ පමණක් නොව නිවසේ සිටියදී වූවද මලපහ නොකර සිටීමට දරුවා පුරුදු වේ. කාලයත් සමගම මෙය දරුවන්ගේ පුරුද්දක් වන අතර තරුණ කාලය තෙක්ම එය රැගෙන යයි. මෙම පුරුද්ද පසුකාලීනව අර්ශස් රෝගයට අත වැනීමක් බව ඔබ දන්නවාද. ඊට අමතරව ප්‍රමාණවත් ජලය සිරුරට ලබා නොදීම, වැරදි ආහාර පුරුදු, අම්ල අධික ආහාර ගැනීම, උෂ්ණ අධික ආහාර ගැනීම යනාදිය ද හේතු විය හැකියි. මීට අමතරව ගැස්ට්‍රයිටිස් තත්ත්වය නිසාවෙන් ආහාර මාර්ගයේ මුල් කොටසේ සිදුවන යම් යම් අඩුපාඩුකම් නිසා අර්ශස් තත්ත්වයන් ඇති විය හැකියි. කිසියම් පුද්ගලයකුට මළ පහ කිරීමේ අපහසුතාවක් පවතී නම් හෝ නිසි වේලාවට මලපහ නොවන්නේ නම් එය බරපතළ ගැටලුවක්. සාමාන්‍යයෙන් පුද්ගලයකු උදේ අවදි වීමෙන් පසුව මලපහ කිරීම සිදුකළ යුතුයි.

 

 

ඊට අමතරව දවසකට දෙවතාවක් මලපහ කිරීම ද සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ඊට වඩා කිහිප වරක් එය සිදුවන්නේ නම් එයත් ගැටලුකාරී තත්ත්වයකි. අර්ශස් රෝගීන්ට වෛද්‍යවරුන් විසින් උදේ කාලයේ දී නියමිත පරිදි ඉතාමත් පහසුවෙන් මලපහ පිට කිරීමට අවශ්‍ය ඖෂධ වර්ග ලබා දීමක් සිදු කරයි. ඊට අමතරව ප්‍රතිකාර ලෙස ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙන එන්සයිම සමබර කිරීමේ ප්‍රතිකාරයක් යෙදීම සඳහා ස්වභාවික ඖෂධ ලබාදීම ද සිදු කරයි. අර්ශස් රෝගය සෑදුණු පසු ඊට අවශ්‍ය ප්‍රතිකර්ම යොදනවාට වඩා එය සෑදීමට පෙර වළක්වා ගැනීමට කටයුතු කරනවානම් එය වඩාත් යෝග්‍ය වනු ඇත. එවිට ඔබටත් සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ගත කිරීමට හැකියාවක් ලැබේවි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

794 Views

Comments

arrow-up