ඔබගේ දත් පිළිබඳව ඔබ සැලකිලිමත්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

ඔබගේ දත් පිළිබඳව ඔබ සැලකිලිමත්ද

ඔබගේ දත් පිළිබඳව ඔබ සැලකිලිමත්ද

ආහාර රස බලමින් භුක්තිවිඳීමට, දිරවීම පහසු වන ලෙස ආහාර කැබලි වලට කැඩීමට, මුහුණේ සාමාන්‍ය පෙනුම ට, නිවැරදි ශබ්ද උච්චාරණයට සහ මනා පෞරුෂයට ඉතාමත් වැදගත් වන දෙයකි ඔබේ දත්. දරුවකු ඉපදී මාස හයත් නවයත් අතර වයසේ සිට දත් මතුවීම ආරම්භ වේ. එසේ මුල් වරට එන දත් කිරි දත් හෝ අස්ථිර දත් ලෙස හඳුන්වයි. වයස අවුරුදු 6ත් 12ත් අතර එම දත් එකිනෙක හැලී යන අතර ඒ වෙනුවට නව දත් මතු වේ. එසේ පසුව මතුවන දත් ස්ථිර දත් ලෙස හඳුන්වයි. මෙසේ වාර දෙකකදී දත් මතුවීම මිනිසාගේ සුවිශේෂී ලක්ෂණයක් බව ඔබ දන්නවාද. මෙය හඳුන්වන්නේ ද්විවාර දන්තී ලක්ෂණය යනුවෙනි. මිනිසාගේ ස්ථිර දත් තිස් දෙකක් මතුවන අතර යටිහනුවේ දාසයක් ද උඩු හනුවේ දාසයක් ද ලෙසින් පිහිටයි. මෙහිදී ඔබ විශේෂයෙන්ම අවබෝධ කරගත යුත්තේ පුද්ගලයන් වශයෙන් ඔබගේ මුඛය තුළ පවත්නා සෑම දතක්ම එක සමාන නොවන බවයි. හැඩය අනුව දත් වර්ග 4 කි. එමෙන්ම එකිනෙක වර්ගයෙන් සිදු කරනු ලබන කාර්යයන් ද එකිනෙකට වෙනස්.

කෘන්තක දත් මගින් ආහාර කඩා ගැනීම සිදුකරන අතර රදනක දත් මගින් ආහාර ඉරාගැනීම සිදු කරනු ලබයි. පුරශ්චාර්වක දත් මගින් ආහාර ඇඹරීම සහ කඩා ගැනීම සිදුකරන අතර චාර්වක දත් මගින් ආහාර ඇඹරීම සිදුකරයි. මෙලෙස ඔබට උදවු වන දත් විවිධාකාර ලෙඩ රෝග වලට ගොදුරු විය හැකි බව ඔබ දන්නවාද. දත් දිරායාම, දත් ගෙවීයාම, දත් දුර්වර්ණ වීම, විදුරුමස් රෝග, දන්ත විකෘතිතාව, අනතුරු නිසා දත්වලට හානි සිදුවීම යනාදිය එවැනි කිහිපයකි. දත් දුර්වර්ණ වීමට බලපාන ප්‍රධානම හේතුවක් වන්නේ දන්ත ෆ්ලෝරෝසියාව යි. ඔබ ජීවත් වන ප්‍රදේශයේ ජලයේ ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය අධික නම් දන්ත ෆ්ලෝරෝසියාව වැළඳීමේ අවදානමක් ඇත. විශේෂයෙන්ම ලංකාවේ අනුරාධපුරය පොළොන්නරුව හම්බන්තොට වැනි ප්‍රදේශවල මෙම තත්වය උග්‍ර ලෙස දැකිය හැකියි. ස්ථිර දත් හනුව තුළ වර්ධනය වන කාලයේ දී එනම් උපතේ සිට අවුරුදු 8 දක්වා කාලයේදී මෙම ෆ්ලෝරයිඩ් අධික ජලය පානය කිරීමෙන් සහ ආහාර පිසීමට භාවිතා කිරීමෙන් එම තත්ත්වය ඇතිවීමට පුළුවනි.

 

 

 


ඔබගේ දත් රැකගැනීම සඳහා පුද්ගලයන් වශයෙන් අනුගමනය කළ හැකි සෞඛ්‍යවත් පිළිවෙත් ගණනාවක් පවතී. කැල්සියම් සහ ඛනිජ ලවණ බහුල පෝෂදායී ආහාර ලබාගැනීම මෙන්ම ප්‍රධාන ආහාර වේල්වලට අමතරව නිතරම කෑම ගැනීමෙන් වැළකීම ඔබගේ දත් ආරක්ෂා කරයි. එමෙන්ම අධික ශීතල හෝ අධික උණුසුම් ආහාර ගැනීමෙන් හැකි පමණ වැළකිය යුතුයි. උදේ සහ රාත්‍රී නින්දට පෙර අනිවාර්යයෙන්ම දවසට දෙවරක් දත් මැදීම කළ යුතු වන අතර විශේෂයෙන් පැණි රස සහ ඇලෙන සුළු ආහාර ගත් සෑම විටම අවම වශයෙන් පිරිසිදු ජලයෙන් කට සෝදා හැරීම කළ යුතුයි. දත් මැදීමට කුඩා හිසක් සහ මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් භාවිතය වඩාත් යෝග්‍ය වන අතර ෆ්ලෝරයිඩ් නියමිත සාන්ද්‍රණයෙන් අඩංගු ප්‍රමිතියකින් යුතු දන්තාලේපයක් භාවිතා කිරීමද ඉතාමත් වැදගත්. සෑම විටම දතක සෑම පැත්තක්ම පිරිසිදු වන ලෙස දත් මැදීම ද කළ යුතුයි. බුලත් විට සැපීමෙන් දුම්බීමෙන් මත්පැන් බීමෙන් සහ පුවක් සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් වැළකීම ඔබගේ දත් නිරන්තරයෙන් ආරක්ෂා කරනු ඇත. තවද විශේෂයෙන්ම වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයකු ලවා ඔබගේ දත් පරීක්ෂා කරවා ගැනීමට අමතක නොකළ යුතුයි. තවද ස්ථිර දත්වල පිහිටීම අක්‍රමවත් නම් ඒ සඳහා ද දන්ත වෛද්‍යවරයකු ලවා නිසි පරිදි සකසා ගැනීම කරවාගත යුතුයි. ඔබගේ දත් ඔබට ලැබී ඇති මහඟු සම්පතකි. එබැවින් එම සම්පත වඩාත් හොඳින් සෞඛ්‍යාරක්ෂිතව රැක ගැනීම ඔබ සතු යුතුකමකි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

829 Views

Comments

arrow-up