ඔබත් සන්ධි රෝගවලින් පීඩා විඳින්නෙක්ද

වර්තමානයේ දී බොහෝ පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි සන්ධි රෝග. පුද්ගලයන් සියයක් ගතහොත් අනූවකට පමණ කුමන හෝ ආකාරයේ සන්ධි රෝගයක් වැළඳී ඇති බව දැකගත හැකි වේ. බොහෝ දෙනෙක් මෙවැනි සන්ධි රෝග සුළුවෙන් ඇති වූ විට ඒවා පිළිබඳව දක්වන්නේ අඩු සැලකිල්ලක්.
විශේෂයෙන්ම ගෘහණියන් විසින් තමාට එදිනෙදා ඇතිවන සුළු සුළු සන්ධි රෝග එතරම් සැලකිල්ලකට නොගෙන ඒවාට කිසිදු හෝ ප්‍රතිකර්මයක් නොකර නිවසේ වැඩ කටයුතු වලට පමණක් අවධානය දීම නිසාවෙන් කාලයක් ගත වන විට මෙම සන්ධි රෝග උත්සන්න වීමක් සිදුවේ. සන්ධි රෝග උත්සන්න වූ පසුව එය ඉතාමත් වේදනාකාරී සහ ජීවිතේම එපා කරවන අත්දැකීමකි. ඔබත් කාන්තාවක් නම් ඔබගේ නීරෝගීභාවය ඔබගේ මුළු පවුලටම වැදගත් බව අමතක නොකරන්න. ඔබ කිසිදු වැඩක් පලක් කරගත නොහැකිව ඇඳට වැටුණ හොත් ඔබගේ ආදරණීයයන්ගේ හෙට දවස පිළිබඳව වගකීම් දරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දෙවරක් සිතිය යුතුයි. මෙහිදී ඔබ විසින් කළ යුතු වන්නේ සන්ධි රෝගයක මූලිකම අවදියේදී එය හොඳින් හඳුනාගෙන මනා පලපුරුද්දක් සහිත වෛද්‍යවරයෙකු හමු වී නිසි ප්‍රතිකාර ලබා ගැනීමයි. සිරුරේ පවතින අස්ථි අතර තිබෙන කාටිලේජ ගෙවීයාම හෙවත් දිය වීම ඉතාමත් වේදනාකාරී අත්දැකීමක්. අස්ථි එකිනෙක ගැටීම වළක්වා ශක්තිමත් හා නම්‍යශීලී බව පවත්වාගෙන යාමට කාටිලෙජ වැදගත් වේ. කාලයත් සමඟම මෙම කාටිලේජ ගෙවී ගොස් අස්ථි එකිනෙක ගැටීමක් සිදු වේ. එය ඉතාමත් වේදනාකාරී අත්දැකීමක් වන අතර වයස් භේදයකින් තොරව අද වනවිට බොහෝ දෙනෙක් අතර මෙය දක්නට ලැබිම කනගාටුවට කරුණකි. සාමාන්‍යයෙන් කාටිලේජ ක්‍රමයෙන් ගෙවී යද්දී දැනෙන වේදනාවට නිවසේදී තෙල් වර්ගයක් ආලේප කර ගැනීම බොහෝ දෙනෙක් සිදුකරනු ලබයි. නමුත් එම මොහොතට ඉන් සහනයක් ලැබුණද ඔබට පසුකාලීනව දීර්ඝ කාලයක් සන්ධි වේදනාවන්ගෙන් දුක් විඳීමට සිදුවනු ඇත. ඇවිදීමට, හැරීමට, නැවීමට, වාඩි වීමට නොහැකි වීමෙන් ඔබට බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීමට ද සිදුවෙනු ඇත. ශරීරයේ දවසින් දවස වැඩෙන මාංශපේශීන් වල බර දරා ගන්නේ අපගේ සිරුරේ පවතින අස්ථි පද්ධතිය මගිනි. එයට දරාගත නොහැකි බරක් පැමිණි විට සන්ධි රෝග මතු වේ. ස්ථුලතාවය නිසා අද කාන්තාවන් බහුතරයක් මෙම රෝගයෙන් පෙළෙන බව වෛද්‍ය පර්යේෂණවලින් සනාථ වී තිබේ.
මෙවැනි තත්ත්වයක් ඇතිවීමට තවත් ප්‍රධානතම හේතුවකි ව්‍යායාම නොකිරීම. එමෙන්ම ශරීරයට පහසු නොවන ඉරියව් බාවිතය සහ සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර රටාවන් ද බොහෝ දුරට සන්ධි රෝග ඇති කිරීමෙහිලා බලපානු ලැබේ. මෙහිදී ඔබ විසින් තෝරා ගන්නා වෛද්‍යවරයාට ඉහල වගකීමක් පැවරේ. රෝගියාට පවතින සන්ධි රෝගය නිවැරැදිව හඳුනා ගනිමින් නිසි ප්‍රතිකාර සඳහා උපදෙස් ලබා දීම වෛද්‍යවරුන් විසින් සිදු කළ යුතුයි. ඇති වූ මුලික අවධියේම හඳුනාගැනීම තුලින් පහසුවෙන්ම මෙම සන්ධි රෝග සුව කර ගැනීමට ඔබටද හැකියාවක් පවතී. සන්ධි රෝග පිළිබඳව නො සැලකිල්ලෙන් පසුවීම අනාගතයේදී ඔබව ඇඳ කට කොටුකරවන බවද මතකයේ තබාගන්න. ජීවිතයේ අපට ලැබී ඇති පරම ලාභය නිරෝගී භාවයයි. එම නිරෝගී කම රැක ගැනීම අප විසින් සිදු කළ යුතු වේ. එවිට ඔබටත් ඔබගේ ආදරණීයයන් සමග ඔබ ලැබූ අමිල ජීවිතය වඩාත් සතුටින් සැනසිල්ලෙන් ගෙවා දමන්නට හැකියාවක් ලැබේවි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
549 Views
Comments