ඉඩකඩ ඉතිරි කරමින් රාක්ක වල මල් වවමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

ඉඩකඩ ඉතිරි කරමින් රාක්ක වල මල් වවමු

ඉඩකඩ ඉතිරි කරමින් රාක්ක වල මල් වවමු

වර්තමානයේ දී කාන්තා පිරිමි භේදයකින් තොරව විශාල කැමැත්තක් දක්වන දෙයකි මල් වගාව. ගෙමිදුලේ අලංකාරය සඳහා මෙන්ම ආර්ථික වශයෙන් ලාභ ලැබීම සඳහා ද බොහෝ දෙනෙක් මල් වගාවේ යෙදී සිටී. මල් වගාව තුලින් පුද්ගලයන්ගේ මානසික තත්වයද යහපත් වන බව ඔබ දන්නවාද. පුංචි පුංචි මල් පිපී අපූරු මල් යායක් ගෙමිදුලේ නිර්මාණය වී ඇත්නම් එහි පවතින සුන්දරත්වය කියා නිම කළ නොහැකි තරම්. විඩාබර දවසක අවසානය සැනසීමෙන් ගෙවීමට ඔබට ඇති හොඳම තැන යහමින් මල් පිපී ඇති ඔබගේ ගෙවත්තයි.

 

ඔබගේ ගෙවත්ත ඉඩකඩ සීමිත ගෙවත්තක් නම් එයින් උපරිම ප්‍රයෝජන ගනිමින් මල් වගාව සිදු කිරීම පිළිබඳව ඔබ සිතනවාද. එසේ නම් ඔබට ඇති හොඳම විසඳුමකි මල් රාක්ක. සාමාන්‍යයෙන් ගෙවත්තක මල් වගාවක් සකස් කරන්නේ නම් ඒ සඳහා යම් ඉඩ ප්‍රමාණයක් වෙන් කළ යුතු වන අතර එම ප්‍රදේශය වෙනත් කටයුත්තක් සඳහා යොදා ගත නොහැකිය. නමුත් මෙහිදී ඔබ මල්පැල ස්ථිර භූමියේ සිටුවීම වෙනුවට බඳුන්ගත වගාවක් ලෙසින් පවත්වා ගතහොත් එය අවශ්‍ය වේලාවට එහා මෙහා කිරීමට ඔබට හැකියාවක් පවතී. මෙහිදී ඔබ විසින් කළ යුත්තේ ලී පටි කීපයක් භාවිතා කර තට්ටු සහිත රාක්කයක් සකසා ගැනීමයි. එමෙන්ම යකඩ සුදු යකඩ ඇලුමිනියම් භාවිතයෙන්ද ඔබට මේ රාක්ක සාදාගත හැකි බව ඔබ දන්නවාද. තට්ටු තුනක් හතරක් සහිතව ඔබ මෙම රාක්කය සාදා ගන්නේ නම් තට්ටු දෙකක් අතර ඉඩක් තබමින් එනම් මල් පැලය වැඩීමට ප්‍රමාණවත් ඉඩකඩ සහිතව මෙම රාගය සකසා ගැනීමට වගබලා ගන්න. එමෙන්ම පිටත බිත්තියකට හෝ තාප්පයකට යාබදව මෙම රාගය පිළියෙල කරගත හැකිදැයි විමසා බැලීමත් වඩාත් සුදුසුයි. මෙලෙස සකසා ගත් මල් රාක්ක ඔබගේ නිවෙසට පැමිණෙන පාර අවහිර නොවන සේ තබා ගැනීමටත් ඔබගේ අවධානය යොමු කරන්න. මෙවැනි තට්ටු මල්බඳුන් හෝ රාක්ක වෙනුවට ඔබට තනි කනුවේ මල් රාක්ක ද සකසා ගත හැකියි. මෙම තට්ටු රාක්ක මත මල් පඳුරු සහිත බඳුන් තැබීමේදී බඳුන් විශාල මෙන්ම වැඩි බරක් දැරීමට සිදු වීමටත්, නඩත්තු කටයුතු වලදී බදුන් බිමට ගැනීමට සහ නැවත ඉහළින් තැබීමටත් අවශ්‍ය වේ. එවිට වැඩි බරක් උසුලා ඉක්මනින් ඔබ වෙහෙසීමට පත්වීමටද ඉඩ ඇති බව මතකයේ තබා ගන්න.

 

 

තවද මල් වගාවට සූර්යාලෝකය අවශ්‍ය වේ. මෙවැනි මල් පාත්ති වල ඉහල කොටසේ බඳුන්වලට වැඩි සූර්යාලෝකයත් පහල තට්ටුවට අඩු හිරුඑළියත් ලැබීමට ඉඩක් පවතී. එවිට ඔබ විසින් කළ යුතු වන්නේ වැඩි හිරු එළියක් අවශ්‍ය කරන ශාක ඉහළ කොටසේත්, අඩු හිරු එළියක් අවශ්‍ය කරන ශාක පහළ කොටසේත් තැබීමයි. තවද නිරන්තරයෙන්ම මෙවැනි මල් රාක්ක පිළිවෙලට සහ පිරිසිදුවට තබා ගැනීමද ඉතාමත් වැදගත්. එහිදී ඔබ විසින් බදුන් අතර ඇති දිරාගිය ශාක කොටස්, පස්, ජීවීන් ආදිය ඉවත් කිරීමක් කළ යුතුයි. ඔබ විසින් සති දෙකකට වරක්වත් එම පිරිසිදු කිරීම සිදු කළ හැකි නම් එම මල් රාක්ක දකින්නන්ගේ නෙත් පිනවන ඒවා වනු ඇත. මල් පැළයක් හෝ සිටුවා ගන්නට ඉඩක් නොමැති බව පවසමින් මැසිවිලි නගනවාට වඩා නිර්මාණශීලී සිතුවිලි භාවිතා කරමින් සොඳුරු මල් වත්තක් හිමිකරගැනීමට ඔබත් උත්සාහ කරන්න.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

1351 Views

Comments

arrow-up