යුවතියන්ට ආදරය ප්‍රකාශ කරන්න හිතේ හයියත් අවශ්‍යමද

බොහෝ දෙනෙක් ආදරය කරයි. ආදරයේ සුව අනන්තවත් විඳියි. ඒ වගේම තවත් පිරිසක් තමාගේ සිතේ උපන් ආදරය සිතේ ම මිය යන්නට දී පැත්තකට වෙන අවස්ථාත් නැතුවාම නොවේ. නමුත් තමාගේ සිතේ උපන් ආදරයට මිය යන්නට දෙන්නේ ඇයි. ඔබ මේ පිලිබදව මොහොතක් වත් සිතුවාද.
ආදරය යනු දෙදෙනෙකු අතර ඇති වන ලොව ඇති සුන්දරම මෙන්ම පවිත්‍රම බැඳීමකි. සාමාන්‍යයෙන් බොහෝමයක් ආදර කතා වලට මුල පුරන්නේ පුරුෂ පාර්ශවයයි. නමුත් ඇතැම් අවස්ථාවන්වලදී පුරුෂ පාර්ශ්වයට ප්‍රථම ස්ත්‍රී පාර්ශ්වයට ද ආදරයක් ඇති විය හැකියි. එය ලැජ්ජා විය යුතු හෝ වසන් කළ යුතු හැඟීමක් නොවන අතර එය සාමාන්‍ය පුද්ගල ස්වභාවයයි. මම ගැහැණු ළමයෙක්නේ කියා සිතමින් තමාගේ ආදරය සිත තුල සඟවාගෙන සිටිය හොත් තවත් කෙනෙකු ඉස්සර වීමටද හැකියාවක් පවතින බව මතකයේ තබා ගන්න. ඔබ ගැහැණු ළමයෙක් නම් ඔබටත් පුළුවන් තමාගේ සිතේ උපන් ආදරය අනෙකාට දැනෙන්නට හරින්න. ඒ සඳහා භාවිතා කළ හැකි පුංචි පුංචි උපක්‍රම කිහිපයක් පිළිබඳව මෙම ලිපිය හරහා ඔබ සමඟ ආදරණීය පිළිසඳරක යෙදෙන්නටයි මේ සූදානම.
ඔබ ගැහැණු ළමයෙක් වශයෙන් වෙනදාට වඩා තරමක් ආකර්ෂණීය වෙන්න උත්සාහ දැරීම තුළින් ද ඔබගේ ආදරය ඔබට ළං කර ගැනීමට හැකියාවක් ලැබේවි. වෙනදාට වඩා ලස්සනට අඳින්න පළඳින්න කතාබහ කරන්න හුරුවීම තුළින් පහසුවෙන්ම ඔහුද ඔබට ආකර්ෂණීය වේවි. මෙහිදී ඔබ සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු නැහැ. අවශ්‍ය වන්නේ වෙනදාට වඩා තරමක් ආකර්ෂණීය වීමයි. ඒ වගේම යුවතියක් වන ඔබට ඉඟි බිඟි පෑමට අමුතුවෙන් උගන්වන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔබට ඔහුව විශේෂ කෙනෙක් බව ඔබගේ ඉඟි බිඟි වලින් දැනෙන්න හරින්න ඔබට පුළුවන්. නමුත් ඔබගේ ඉඟි බිඟි වලින් කිසිවිටෙකත් ඔහුව අපහසුතාවයකට පත් නොකර සිටින්නටද වගබලා ගන්න. තවද ඔහුව මුණ ගැසුණු අවස්ථාවන්වලදී ඔහුගේ මුහුණ දෙස කෙළින් බලා කතා කිරීමට හුරු වීම ද ඉතාමත් වැදගත්. මුලින්ම පුංචි පුංචි දේවල් පිළිබඳව කථා කිරීම මගින් දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධයක් සුහදතාවක් ගොඩනගා ගැනීමට ඔබට හැකියාවක් ලැබේවි. දෙදෙනා කතා කිරීමට පටන් ගත්තට පස්සේ අනෙකාට ඇහුම්කන් දීමට ද අමතක නොකළ යුතුයි. අනෙකාට අවස්ථාවක් දීම තුලින් ඔබගේ සිතේ ඔහුට ඇති ගෞරවය මනාව පෙන්නුම් කළ හැකි වේ. තවද ඔහු සමඟ කථාකිරීමට ඔබ තනිවම යාමද අවශ්‍යය. යහළුවන් යෙහෙළියන් ඒ සඳහා සම්බන්ධ කර ගැනීම තුළින් සිදුවන්නේ ඔබ දෙදෙනාට කතා කිරීමට ඇති නිදහස සීමා වීමක් පමණි. සිතේ පවතින සියල්ලක්ම ඔහුට ප්‍රකාශ කිරීමට ඔබගේ යහළු යෙහෙළියන් බාධාවක් වීමටද ඉඩකඩක් පවතී. මෙවැනි සුළු සුළු කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගනිමින් ඔහුට ළං වීමට හැකි නම් පහසුවෙන්ම ඔහුගේ ආදරය සහ ආකර්ෂණය දිනා ගැනීමට යුවතියක් වශයෙන් ඔබට හැකියාවක් ලැබේවි. ඔබගේ සිතේ උපන් ආදරයට වටිනාකමක් ලබාදිය හැකි වන්නේද ඔබටම පමණක් බවද මතකයේ තබා ගන්න.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
566 Views
Comments