දරුවන් ලැබීම සුන්දරත්වයට පවතින ඉඩකඩ ඇහිරීමක්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

දරුවන් ලැබීම සුන්දරත්වයට පවතින ඉඩකඩ ඇහිරීමක්ද

දරුවන් ලැබීම සුන්දරත්වයට පවතින ඉඩකඩ ඇහිරීමක්ද

නිසි වයසට පැමිණි විට තමා කැමැති කෙනකු සමඟ විවාහ දිවියට එළඹීම බහුතරයක් යුවතියන්ගේ සිහිනයයි. විවාහ වී දරුවන් ලැබුණාට පසු සුන්දරත්වය රැක ගැනීමට වෙහෙසීම බොරු වැඩක්. මේ අපේ විවාහක කාන්තාවන් අතර පවතින මතයක් බව ඔබ දන්නවාද. ඒත් ඒක වැරදි මතයක්. ඒ වගේම තම පෞරුෂයට බලපාන සෘණාත්මක ආකල්පයක්. එවැනි සෘණාත්මක ආකල්ප දැරීම ඔබට සිදු කරන්නේ අයහපත් බලපෑමක්. මවක් වූ පසුව ඔබ වෙනදාටත් වඩා සුන්දර විය යුතුයි. තවත් ජීවියෙකුට උපතක් දීම උතුම් පදවියකට හිමිකම් කීමක්. එහි වටිනාකම රැඳෙන්නේ ඔබේ ක්‍රියා කලාපය මතයි.

ඔබේ සැමියා බලා සිටිනවා ඔබේ සුන්දරත්වය එදා වගේම අදත් හෙටත් එක ලෙසට පවත්වා ගනු ඇතැයි කියා. ඔබට ඔබේ දරුවා නිසා හොඳ නින්දක් නොලැබෙන්න පුළුවන්. දරුවාට මව්කිරි දෙන විට ඔබට ආහාර පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉස්සර වගේ ලස්සනට ගලපලා ඇඳුම් ආභරණ අඳින්න බැරි වෙන්න පුළුවන්. ජීවිතේ ආපස්සට අදින්න අවශ්‍ය සියලු කාරණා ඔබ සතු විය හැකියි. නමුත් සත්‍යය නම් දරුවා වෙනුවෙන්ම වගේම ආදරනීය සැමියා වෙනුවෙන්ද ඔබ සිටිය යුතුයි යන්නයි. එය ඔබ සතු යුතුකමක් මෙන්ම වගකීමක්. එසේ නොවුණහොත් ලස්සනට පටන් ගත්ත ජීවිත දෙදරා යන්නට පුළුවන්. පිරිසිදුව පිළිවෙළට ආකර්ෂණීයව ඉන්න කියලා සැමියා ඔබට කටින් නොකියනවා වෙන්න පුළුවන්. ඒත් ඔහුව දවසින් දවස හුදෙකලා වෙන්න ඉඩ හැරීම ඔබේ පුංචි සුන්දර කැදැල්ලට විශාල තර්ජනයක් වීමට පුළුවනි. මෙපමණ දිනක් ඔබ අතින් ඉතා පිළිවෙළට ඔහුගේ රාජකාරි අවශ්‍යතාවන් සිදුවුණා වෙන්න පුළුවන්.

 

 

 


මෙහි දී කාන්තා ඔබ විසින් තේරුම් ගත යුත්තේ ඔහු තාමත් මේ මොහොතේත් ඒ සියලුම දේ ඔබෙන් බලාපොරොත්තු විය හැකි බවයි. ඒවා ඉටු නොවුන තැන ඔහු වෙන තැනක් සොයා ගන්නට තියෙන ඉඩකඩත් වැඩියි. ටික කාලයක් ගතවීමේදී බිරිඳ නොරුස්සන ස්වභාවයක් මතු වෙන්නත් පුළුවන්. ඔබ කෙරෙහි අප්‍රසන්න බවක් හෝ එවැනි හැඟීමක් ජනිත වෙන්නත් පුළුවන්. මේ සියල්ලකම අවසානය වන්නේ දෙදෙනා අතර බහින්බස් වීම් සිත් රිදීම් ඇති වීම නොවේද. කාන්තා ඔබ මෙහිදී මදක් සිතිය යුතුයි. ඔබ සතු පුංචි පුංචි අඩුපාඩු වැරදි නිවැරැදි අවබෝධයෙන් වටහා ගන්න. ඒ දේවල් සාකච්ඡා කරලා එක තැනකට ගන්න. ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔබ රූප රාජිනියක් වගේ සැරසිලා ඉන්න ඕනේ කියලා. රූපලාවන්‍යාගාරයට ම වියදම් කරන ඇඳුම් පැළඳුම් විතරක්ම මිලදී ගන්නා ගැහැනියක් ඔහුට අවශ්‍ය නැහැ. නමුත් ඔබ ඔහු ගැන අවධානයෙන් සිටීම ඔහු නිරන්තරයෙන්ම අපේක්ෂා කරනු ඇත. වැඩ නිමා වී ඔහු නිවසට එන්නේ ඔබේ දුක් කරදර අසන්නට නොවන අතර ඔහුගේ දවස පුරා ගෙවපු වෙහෙස තනිකම ඔබ සමග මකා ගැනීමටයි. ඔබ තනිවම දරුවන් රැකබලා ගනිමින් දවස පුරාම දුක් විඳිනවා වන්නට පුළුවනි. නමුත් ඔබ අමතක නොකළ යුතුයි පෙම්වතුන් වශයෙන් ඔබ දෙදෙනා ගෙවා දැමූ සුන්දරම කාලය. දික්කසාදය දක්වා දුර දිග යන්නේ තම තමන්ගේම වැරදි අඩුපාඩු නිසාවෙනි.

පුංචි දරුවෙකු ඔබ දෙදෙනා අතරට පැමිණීම ඔබගේ බැඳීම් ශක්තිමත් කරයි. සියලු දුක් කරදර දරුවා වෙනුවෙන් විඳ දරා ගන්නට ඔබ පුරුදු වෙයි. මෙහිදී ඔබ යම්කිසි ප්‍රමාණයකට මානසිකව ඇද වැටෙන්නට ද පුළුවනි. නමුත් කාන්තා ඔබ විසින් ඔබගේ ආදරණීය බව අඩු නැතිව ඔහුට දිය යුතුයි. හැකි සෑම විටම ඔබගේ සුන්දරත්වය වැඩිකර ගැනීමටද වේලාවක් වෙන්කර ගන්නට අමතක නොකරන්න. කාන්තා ඔබ විසින් තේරුම් ගත යුත්තේ ජීවිතය විඳවන්නට නොව විඳින්නටයි. එවිට දිගුකාලීන ශක්තිසම්පන්න බැඳීමකින් යුතු පවුල් ජීවිතයක් ගත කිරීමට නිරන්තරයෙන් ම හැකියාවක් ලැබෙනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

597 Views

Comments

arrow-up