පහසුවෙන් නිවසේ පෙනුම වෙනස් කරමු

නිවසේ ඉදිරිපස පෙනුම වගේම ඇතුලත පෙනුමත් වියදමකින් තොරව අලංකාරවත්ව වෙනස් කරගැනීම පිළිබඳව සටහනක් මේ.
කලින් කලට බිත්ති වල පාට වෙනස් කරන්න
කාමර වල වර්ණය වෙනස් කිරීමෙන් එහි නැවුම් පෙනුමක් ලබාගත හැකියි. අවශ්‍යනම් බිත්ති වල වර්ණ වෙනස් කර අලුතින් තීන්ත ආලේප කළ හැකියි. නැත්නම් එතරම් වියදමක් නොකර කාමරයේ ඇති කුෂන් කවර සෝපා කවර ඇඳ ඇතිරිලි රෙදි ආදී විශේෂ උපාංග වල වර්ණය වෙනස් කර නැවුම් බවක් ලබාගත හැකියි.
භාණ්ඩ තබන ආකාරය වෙනස් කරන්න
නිවසේ ගෘහ භාණ්ඩ දිනපතාම එකම ආකාරයට තබා ඇත්නම් ඒවා සුළු වෙනසකට මාරු කර තැබීමෙන් නිවසේ පෙනුම වෙනස් කර අලුත් පෙනුමක් ලබාගත හැකි වෙනවා. මෙහි ඇති ප්‍රධාන ගෘහ භාණ්ඩ පමණක් නොව සියලුම ගෘහ භාණ්ඩ තබා ඇති තැන් වෙනස් කර ගැලපෙන වෙනත් තැනකින් තබා එහි වෙනස අත්කරගත හැකියි.
දේශගුණය අනුව අනෙක් උපකරණ වෙනස් කරන්න
විසිතුරු කොට්ට විදුලි ලාම්පු පාපිසි කාපට් මල් මල් පෝච්චි ආදී විශේෂ උපාංග වෙනස් කිරීමෙන් හෝ ඒවා තබන ස්ථාන වෙනස් කිරීමෙන් නැවුම් බවක් කාමරේට එක්කර ගත හැකියි. උෂ්ණ කාලවලදී ලා පැහැද ශීත කාලවලදී තද වර්ණ යොදා ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.
මල් පැල බදුන්ද වරින් වර වෙනස් කරන්න
මල් පැලෑටි වලින් අපූරු සුන්දරත්වයක් නිවසට එක් කරගත හැකි වෙනවා. මේ නිසා පැළෑටි වර්ග තිබෙන ස්ථාන තබන භාජන වර්ග ආදිය වෙනස් කිරීමෙන් කාමරවලට අලුත් පෙනුමක් එක් කළ හැකි වෙනවා. මෙසේ කාමර වලට අලුත් මුහුණුවරක් එක් කර ගන්නා විට මතක තබා ගත යුතු වැදගත්ම කාරණය වෙන්නෙ වෙනස් නොකරන අංග වල තිබෙන වර්ණ වලට ගැලපෙනසේ නව අංග යොදා ගැනීමයි. ඒ වගේම නිවසේ ඉදිරි පෙනුම ගැනත් අවධානය යොමු කිරීම අවශ්‍ය වෙනවා. නිවසේ ඉදිරිපිට මල් වවා ඇති ක්‍රමය මෙන්ම පෝචි තබා ඇති ක්‍රමය වෙනස් කිරීමෙන් මේ පෙනුම වැඩි කර ගන්න පුළුවන්.
උෂ්ණ ශීත කාලවලදී තිරරෙදි වෙනස් කරන්න
දොර ජනල් රෙදි මගින් වුවත් කාමරයේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකියි. ඝනකමින් වැඩි තිරරෙදි මගින් නිවස තුළ උණුසුම් බව වැඩියෙන් රැදෙන නිසා ශීත කාල වලදී මෙවැනි තිරරෙදි වටිනා නමුත් දැඩි උෂ්ණ කාලවලදී සැහැල්ලු සහ තුනී රෙදි වලින් තිරරෙදි යොදා ගැනීම යෝග්‍ය වෙනවා. සමහර විටෙක තිරරෙදි අත්‍යවශ්‍යම නොවන ජනෙල් දොරවල් නිවසේ දක්නට ලැබෙනවා. මේ වගේ අවස්ථාවකදී තිරරෙදි දැමීමෙන් වැළකීම යෝග්‍යයි.
by Dilki Shamani
Photo Source: Internet
844 Views
Comments